May 03, 2024

සාගර ජලය බුබුළු දමමින් පැසෙයි - මුහුද මැද දැවැන්ත ගින්නක් (VIDEO)

(වීඩියෝව මෙම පුවත අවසානයේ)

මෙක්සිකෝ බොක්කෙහි සාගර පතුල ඔස්සේ විහිදන පරිදි ඉදිකර තිබූ ගෑස් නල පද්ධතියක සිදු වූ කාන්දුවකින් මහා අනතුරක් සිදු වූවා.

සාගර පතුලේ සිට කාන්දු වූ වායූන් ජලය තුළ දීම ගිනි ගැනීමට ලක් වුණු අතර මේ හේතුවෙන් සාගරයේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරී පැවතුණා.

එහි උෂ්ණත්වය කොපමණ ද කිවහොත්, එම ප්‍රදේශය පුරා සාගර ජලය බුබුළු දමා පැසෙමින් (boiling) පැවැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ලඟා වීමට පවා අදාළ අංශවලට මහත් අසීරු වූවා.

කෙසේ වෙතත් මේවන විට එය පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තාවන අතර ඒ සඳහා පැය 05කට ආසන්න කාලයක් ගත වූ බව පැවසෙනවා.

ජල මතුපිට සිට මීටර 150ක් පමණ ගැඹුරු පතුලෙහි මෙම ගෑස් කාන්දුව හටගත් තිබෙන බව සඳහන්.

එමෙන්ම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ “තෙල් අට්ටාලයක්” ද පවතිනවා.

මෙම නල පද්ධතිය මෙක්සිකෝ රජයට සම්බන්ධ සමාගමකට අයත් බව යි වාර්තා වන්නේ.

සිදුවීමෙන් මිනිස් ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

එහෙත් මේ ආකාරයෙන් සාගරය තුළ සහ මතුපිට විශාල වපසරියක ජලය අධික උෂ්ණත්වයකට ලක් වීම මත සාගර ජීවීන් විශාල පිරිසකට දිවි අහිමි වන්නට ඇතැයි සැක කෙරෙනවා.

මේ අතර මෙම ගෑස් කාන්දුව සහ එය ගිනිගැනීම පිටුපස පවතින හේතූන් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බව එම නල පද්ධතිය හිමි සමාගම අවධාරණය කරනවා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 03 July 2021 07:35