April 27, 2024

බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂ 5යි - ජනපති එලවන සටන දැඩිවෙයි

බ්‍රසීලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පිරිස අද (20) දිනයේ ලක්ෂ 5 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තව වූ පසුව ලෝකයේ රටක වාර්තා වූ ඉහළම දෙවැනි මරණ සංඛ්‍යාවත් බ්‍රසීලයෙන් වාර්තා වී තියෙනවා.

වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා  බ්‍රසීලය තුළ සමස්ත කොරෝනා රෝගීන් මිලියන 17ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මිය ගිය සමස්ත පිරිස 500,868ක්.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට එරට ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ඍජුව වගකිව යුතු බවට වන චෝදනා දිනෙන් දින වැඩි වෙමින් පවතින අවස්ථාවක කොරෝනා අවදානම නොතකා ජනතා උද්ඝෝෂණ ආරම්භ වෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

වෛරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ විසින් එරට ජනතාව වෙත වැරැදි ආදර්ශ සැපයීම දිගින් දිගටම සිදුකළ අතර ඔහු විසින් විටෙක කොරෝනා වෛරසය මිත්‍යාවක් ලෙසද ප්‍රකාශ කරා. 

එමෙන්ම කොරෝනා වෛරසය ගණන් ගත යුතු නැති උණ රෝගයක් ලෙසද ඔහු සඳහන් කළ අතර ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු නොකට රැකියාවලට යන ලෙසද බලපෑම් සිදුකර තිබුණා.

 මුහුණු ආවරණ නොපැළඳ ජනතා හමු පැවැත්වීම, උත්සව පැවැත්වීම වැනි බොහෝ දේ ඔහු විසින් සිදුකර තිබුණා.  කෙසේ වෙතත් ජනාධිපතිවරයා හටද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඔහු සුව වුණා.

එමෙන්ම ලෝකයේ වඩාත් සාර්ථකම කොරෝනා එන්නත ලෙස සලකනු ලබන ෆයසිර් එන්නත ලබානොගන්නා ලෙසද ඔහු බ්‍රසීල ජනතාව හට පවසා තිබුණේ එය ලබාගතහොත් මිනිස්සු කිඹුලන් බවට පත්වන බවත්, කාන්තාවන්ගේ රැවුල වැවෙන බවත් කියමිනි.

මෙවැනි හේතු රාශියක් හමුවේ බ්‍රසීලය කොරෝනා වෛරසයේ ආගාධයටම ගොස් තිබෙන අතර ජනතාව තුළ තිබෙන පීඩනයද ඉහළ යමින් තිබෙනවා. අද (20) දිනයේ මරණ ලක්ෂ 5 සීමාව පසුකළ පසුව ජනතාවගේ පීඩනය පුපුරා ගිය අතර දස දහස් ගණනක පිරිසක් බ්‍රසීල ජනාධිපතිට එරෙහිව විරෝධතා සඳහා රැස්ව තිබුණා.

බ්‍රසීලයේ අනගනුවර වන බ්‍රසීලියා සහ වැඩිම ජනතාවක් වාසය කරන සාඕ පවුලෝ නුවර විරෝධතා ආරම්භ වී තිබෙනවා. එරට නායකයා ඇතුළු ආණ්ඩුව විවේචනය කරන පුවරු රැගෙන විශාල පිරිසක් මෙලෙස විරෝධතා රැළියට සහභාගී වී සිටි අතර ඔවුන් බොහෝ දෙනා පවසා සිටියේ මිය ගිය මිලියන භාගයකට අධික පිරිසකගේ ජීවිතවලට බොල්සනාරෝ වගකිව යුතු බවයි.

බ්‍රසීල ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාවයේ නියුතු ජනතාව විසින් පවසා සිටියා.

Rate this item
(0 votes)