April 20, 2024

“කොරෝනා එන්නත ගන්න එපා ඕක ගත්තොත් කිඹුල්ලු වෙයි, නැත්නම් කාන්තාවන්ගේ රැවුල එයි” - බ්‍රසීල ජනපතිගේ අනතුරු ඇඟවීම

December 20, 2020

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත ලෙස හඳුන්වනු ලබන ෆයිසර්-බයෝ එන්ටෙක් විසින් වැඩි දියුණු කරන ලද කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙස අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඔහු එම අනතුරු ඇඟවීම සිදුකරමින් පවසා තිබුණේ මෙම එන්නත ලබා ගැනීම තුළින් මිනිස්සු කිඹුලන් බවට පත්වීම හෝ කාන්තාවන්ගේ රැවුල වැවීම සිදුවනු ඇති බවයි.

කොරෝනා වෛරසය මුල් අදියරයේ ලෝක ව්‍යාප්තිය සිදුවන අවස්ථාවේ ද බොල්සොනාරෝ විසින් විවිධ ප්‍රකාශයන් නිකුත් කළ අතර ඔහු වරක කියා සිටියේ එය මිත්‍යාවක් බවයි.

පසුව බ්‍රසීල තුළ වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ එය පොඩි උණක් ලෙස පවසා ජනතාවට සේවයට යන ලෙස තර්ජනයන්ද කළේය.

බ්‍රසීලය විසින් ෆයිසර්-බයෝ එන්ටෙක්  එන්නත ලබා ගැනීමට මේ වන විටත් ගිවිසුම්ගත ඇති අතර ජනාධිපතිවරයා විසින් පවසා සිටියේ එන්නත නිසා ඇතිවන ආසාත්මිකතා සම්බන්ධයෙන් ඔවුන් වගකීම භාර නොගන්නා බවයි.

එම එන්නත ලබා ගත් පුද්ගලයෙකු කිඹුලෙකු බවට පත්වුවහොත් එම පුද්ගලයා විසින්ම එහි ප්‍රතිඵලය දරාගත යුතු බවද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම එන්නත ලබා ගැනීම තුළින් සුපිරි බලයන් ලැබෙනු ඇති බවත් නැතහොත්  කාන්තාවකගේ රැවුල වර්ධනය වී පිරිමි හඬින් කතා කිරීමට ගතහොත් ඔවුන් එහි වගකීම භාර නොගන්නා බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පවසා තිබුණේ කොරෝනා එන්නත නොමිලේ ලබාදෙන බවත්, නමුත් එම එන්නත ලබා ගැනීම කිසිම විටෙක අනිවාර්ය නොවන බවයි.

නමුත් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ නියෝගයක් ලබාදෙමින් පවසා තිබුණේ ජනතාව වෙත 'බලහත්කාරයෙන්' ලබා දීමට අවසර නොදෙන නමුත් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම එන්නත ලබා නොගැනීම දඩ ගැසීමට හේතුවක් වන අතර පොදු ස්ථානයන්වලින් එන්නත ලබා නොගන්න පුද්ගලයින් ඉවත් කර තැබීමට බලධාරීන්ට බලය හිමිවේ. 

නමුත් කිසිම අවස්ථාවක එන්නත ලබා ගැනීමට කිසිවෙකුටත් බලපෑම් නොකරන ලෙසද අධිකරණය දැනුම් දී තිබේ.

බොල්සොනාරෝ පැවසුවේ බ්‍රසීලයේ නියාමන ආයතනයක් වන ඇන්විසා විසින් එන්නතක් සහතික කළ පසුව එය අවශ්‍ය සියල්ලන්ටම ලබා ගත හැකි වනු ඇති බවයි.  නමුත් තමන් එම එන්නත ලබා නොගන්නා බවද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එහිදී පවසා තිබුණේ සමහර පිරිස් විසින් තමන් වැරැදි පූර්වාදර්ශයක් සපයමින් සිටින බවට පවසන බවයි. නමුත් ඔහු කියා සිටියේ එසේ පවස මෝඩයින්ට පැවසීමට ඇත්තේ තමන් දැනටමත් වෛරසයට ගොදුරුව සිටින බවත්, තමන්ගේ සිරුරේ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවයි. 

එම නිසා තමන් එන්නත ලබාගන්නේ ඇයිදැයි ජනාධිපතිවරයා විසින් ඔහුට චෝදනා කරන පිරිසගෙන් ප්‍රශ්න කර තිබුණී.

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ හට පසුගිය ජූලි මාසයේදී වෛරසය වැළඳී ඇති නමුත් සති තුනක් ඇතුළත සුවය ලැබීය.

Rate this item
(0 votes)