May 12, 2024

පාකිස්ථානයේ ඛේදවාකයක් : බස් රථයක් පෙරළී යයි - 20 දෙනෙකුට දිවි අහිමි වෙයි

පාකිස්ථානයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට දිවි අහිමි වී තවත් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ආගමික උත්සවයකින් පසුව නිරිතදිග බලුකිස්ථානයේ සිට නැවත පාකිස්ථානය වෙත පැමිණෙමින් තිබූ බස් රථයෙක් මෙලෙස පෙරළී ගොස් තිබුණා. බස් රථය පාලනයේ ගිලිහී මාර්ගයෙන් ඉවත ගොස් අසළ තිබූ ප්‍රපාතයකට පෙරළි ගොස් තිබුණා.

මේ වන විට මිය ගිය 20 දෙනෙකුගේ දේහයන් සොයාගෙන ඇති අතර තවත් 40 දෙනෙකු පාකිස්ථානයේ කුස්ඩාර් දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙනවා. මෙලෙස ප්‍රතිකාර ගන්නා 40 දෙනාගෙන් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් රොයිටර් පුවත් සේවයට කියා තිබුණේ බස් රථයට දරා ගැනීමට නොහැකි තරම් පිරිසක් එහි ගමන් කර තිබූ බවයි. එමෙන්ම සමහර පිරිසක් බස් රථයේ වහල මතද සිටි බවද පවසා තිබුණි.

අනතුරට පත් වූ අයට සහන සැලසීම සඳහා හමුදා අංශයන් යොදවා ඇති බවද පාකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Rate this item
(0 votes)