March 29, 2024

ප්‍රියන්ත ඝාතනය : යුධ හමුදාපති ශවේන්ද්‍රගෙනුත් නිවේදනයක්

December 05, 2021

පාකිස්තානයේදී අමානුශික ආකාරයෙන් ඝාතනය වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන සියලු සැකකරුවන් හට උපරිම නීතිමය පියවර ගන්නා බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා උපදෙස් ලබා දී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද (05) මහනුවර දළදා මාලිගාවේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව හමුදාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පළ කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ හමුදාපතිවරයා මෙසේද සඳහන් කළා.

"මේ ලෝකේ සිදුවිය හැකි ඉතාමත් අමානුෂික හා කෲර ඝාතනයක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. පාකිස්තානයේ ත්‍රිවිධ හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් මා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතුමා මා සමග සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ චූදිතයන් හට උපරිම නීතිමය පියවර ගන්නා ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ත්රිවිධ හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සමඟ ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා. මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 200කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පරික්ෂණ  සිදුවෙන බවත් ත්‍රිවිධ හමුදාපතිවරයා මා සමග සඳහන් කළා. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව විදේශගතව සිටින හා මැදපෙරදිග වැනි රටවල සේවය කරන ශ්‍රී  ලාංකිකයන් ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. මෙම සිද්ධිය එක ස්ථානයක ඇතිවූ හුදෙකලා සිද්ධියක් පමණයි. මේ හේතුවෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට ඇති සබඳතාවයන්ට ගැටළුවක් වෙන්නේ නෑ. මේ වේලාවේ අපේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත්ව හැසිරිය යුතුයි. සිද්ධියට සම්බන්ධ සියළුම පුද්ගලයන් හට දැඩි දඩුවම් ලබා දීමට දැන් පාකිස්තානය කටයුතු කරමින් ඉන්නවා. මේ ඝාතනය යුදහමුදාපතිවරයා වශයෙන් මා හෙලා දකිනවා." යනුවෙන්ද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(මහනුවර - කේ .එල්. සුරවීර)                                                

Rate this item
(0 votes)