May 12, 2024

රෝහල් ආරක්ෂකයා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට සැත්කමක් කරලා

පාකිස්ථානයේ රෝහලක සේවය කළ හිටපු ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් එම රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිට කළ සැත්කමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 80ක් වූ ෂමීමා බෙගම් මෙම සිදුවීමට මුහුණ දී මිය ගිය කාන්තාවයි. මෙම වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි තැනැත්තා මුහම්මද් වහීඩ් බට් නම් පුද්ගලයෙකු බවට ලාහෝර් පොලීසිය විසින් හඳුනාගෙන.

ලාහෝර් රජයේ රෝහලක මෙම සිදුවීම වී තිබුණු අතර එම රෝහලේ ඉහළ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ රෝහලේ සේවය කරන සෑම වෛද්‍යවරයෙකු ගැනම, ඔවුන් කරන්නේ මොනවද, කරන ප්‍රතිකාර පිළිබඳව සොයා බැලීමට නොහැකි දෙයක් බවයි. එය විශාල රෝහලක් ලෙසද එම නිලධාරියා පවසා තිබුණා.

මෙම සැත්කම සිදුකළ සැකකරුවා සිදුකරන ලද්දේ කුමන ආකාරයක ශල්‍ය කර්මයක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වන අතර එම සැත්කම සිදුකරන අවස්ථාවේ පළපුරුදු වෛද්‍යවරයෙකු ළඟ සිට තිබෙනවා.

මුහම්මද් වහීඩ් බට් හට ෂමීමා බෙගම්ගේ ඥාතින් විසින් ප්‍රතිකාර ලබාදීම සඳහා යම් මුදලක් ද ලබා දී තිබෙනවා.

බට් විසින් ප්‍රතිකාර කිරීමෙන් පසුව ෂමීමා විසින් නිවස වෙත ගියත් ඇයගේ සැත්කම කළ ස්ථානයෙන් අධික ලෙස රුධිරය වහනය වෙන්න පටන් ගෙන තිබුණා.  පසුව නිවැසියන් ෂමීමාව නැවත රෝහල වෙත ගෙන ගිය පසුව සිදුවි තිබූ දේ දැනගන්න ලැබී තිබෙනවා. ඇයගේ දේහය මේ වන විට එම රෝහලේම මෘත ශරීරාගාරයේ තැන්පන් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයක් ද සිදු කිරීමට නියමිතයි.

සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා මේ වන විට ලාහෝර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට නඩු පැවරීමට කටයුතු කරන බවද පවසා තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙනත් රෝගීන් හටද මුදලට ඔහු විසින් ප්‍රතිකාර ලබා දී ඇති බවට හෙළිව තිබෙන අතර ඔහු කාලයක පටන් මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් තිබී ඇති බවද හෙළි වුණා.

පාකිස්ථානයේ දෙවැනියට විශාලතම රෝහල වන ලාහෝර් සේවා රෝහලේ මීට පෙරද මෙවැනි ආකාරයට වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගීන්ගේ අයථා ලෙස මුදල් අය කරගත් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි අය අත්අඩංගුවට ගෙන ඇති අතර 2016 වසරේ දී සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සමඟ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක ලෙස පෙනී සිටින කාන්තාවක් මාස අටක් තිස්සේ සැත්කම් කළ බව අනාවරණය වූ අතර ඇයවද මෙලෙසම අත්අඩංගුවට ගෙන තිබුණා.

Rate this item
(0 votes)