April 26, 2024

තෙවැනි අඟහරු බලවතා වෙමින් චීනය නව පිම්මක් පනියි (VIDEO)

චීනයේ “ෂූරොං” (Zhurong) රෝවරය අඟහරු ග්‍රහලෝකය මතට සාර්ථකව ගොඩබෑමට සමත් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය මීට විනාඩි කිහිපයකට පෙර නිවේදනය කළා.

මිනිසුන් රහිත අභ්‍යවකාශ මෙහෙයුමක්වන මෙය චීනයේ ප්‍රථම ස්වාධීන අඟහරු මෙහෙයුමයි.

කිලෝ ග්‍රෑම් 240ක් බරැති මෙම රෝවරය රැගත් “ටියැන්වෙන් - 1” (Tianwen-1) යානය මාස කිහිපයක් තිස්සේ අඟහරු වටා කක්ෂගත වී තිබුණා.

එම කාලය තුළ එය අඟහරු මතුපිට සිතියම්ගත කිරීම සිදු කළා.

මෙම ටියැන්වෙන් - 1 යානය සහ ෂූරොං රෝවරය රැගත් රොකට්ටුව පෘථිවියේ සිට අහසට නැගුනේ පසුගිය වසරේ ජුලි මාසයේ දී යි.

සිය රෝවරයට අඟහරුගේ වායුගෝලය හරහා අධික වේගයෙන් ගමන් කර පැරෂුට් හරහා ගමන් වේගය අඩු කරගනිමින් සාර්ථකව ගොඩබෑමට ලැබීම තමන් ලද විශාල ජයග්‍රහණයක් බව චීනය පවසනවා.

මෙම ගොඩබෑමත් සමග චීනය ඉතිහාසගත වන්නේ අඟහරු මත රෝවරයක් සාර්ථකව මෙහෙයවනු ලැබූ තෙවැනි රට ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපදය මේවන විටත් අඟහරු මතට රෝවර ගණනාවක් යවා ඇති අතර ඉන් කිහිපයක් මේ මොහොතේ දීත් අඟහරු පෘෂ්ඨය මත මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.

ඇමරිකාවට අමතරව අඟහරු පෘෂ්ඨයේ යන්ත්‍රයක් මෙහෙයවූ රටවන්නේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවයි.

1971 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුවේ “මාස් 3” (Mars 3) යානය අඟහරුට ගොඩබට අතර කෙටි කලක් තුළ අක්‍රීය වීමට පෙර එයට හැකි වූයේ අඟහරු පෘෂ්ඨයේ එක් ඡායාරූපයක් පෘථිවිය වෙත එවීමට පමණයි.

කෙසේ වෙතත් අඟහරු මතට ගොඩබෑමට නොහැකි වූ නමුත් එම ග්‍රහලොව වටා කක්ෂගත වී පර්යේෂණ කිරීමට රටවල් කිහිපයකටම හැකියාව ලැබුණා.

ඉන්දියාව සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ඉන් ප්‍රමුඛයි.

වීඩියෝව පහතින්...

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 10:21