April 27, 2024

"වගකීම ඇමති අතේ" - PHI සංගමය අනතුරු අඟවයි

December 01, 2021

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියා මාර්ගයන් හේතුවෙන් මහජනතාව කිසියම් අපහසුතාවකට ලක් වන්නේ නම් එහි වගකීම විෂය භාර ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් භාර ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවා.

"කිසියම් විෂයක් සදහා ඇමතිවරයෙකු හෝ ඇමතිවරියක පත්වීමෙන් පසුව තමාගේ විෂයට අදාල වෘත්තීය සමිති කැදවා ඔවුන් සමග සාකච්ඡා කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. පසුගිය කාලය තුළ මෙරට පත් වූ සියළුම සෞඛ්‍ය ඇමතිවරුන් මෙන්ම හිටපු සෞඛ්‍ය ඇමතිතුමියද වෘත්තීය සමිති සමග ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බලමින් ඒ සදහා කිසියම් විසදුමක් ලබා දීමට කටයුතු කරණු ලැබුවා. නමුත් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා පත් වූදින සිට මේ දක්වා කිසිදු වෘත්තීය සමිතියක නායකයින් හමුවීමක් සිදු කර නැහැ. මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් වල ගැටළු රැසක් ගොඩ ගැසී තිබෙනවා. නමුත් ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ඒ කිසිවකට විසදුමක් ලබා ගැනීමට හැකියාවක් මෙතෙක් ලැබී නැහැ."

"මෙම තත්ත්වය නිසා තමයි වරින් වර සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති තමන්ගේ ඉල්ලීම් ඉල්ලමින් පාරට බහින්නේ සහ විවිධ ක්‍රියා මාර්ග වල නිරත වන්නේ. අපි ඉතා පැහැදිලිව දන්නා කාරණයක් තමයි වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් අපහසුතාවයට පත් වන්නේ මහජනතාව. ඒ සම්බන්ධයෙන් අපි කනගාටුව පළ කරනවා. වෘත්තීය ගැටළු විසදීමට හෝ අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් ඇහුම් කන් දෙන්නවත් සෞඛ්‍ය ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පසුගිය කාලයේ කටයුතු කර නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් විසින් ආරම්භ කර හෝ ඉදිරියේදී සිදු කරන කිසියම් වෘත්තීය ක්‍රියා මාර්ගයක් හේතුවෙන් මහජනතාව පීඩාවට පත් වන්නේ නම් එහි වගකීම සෞඛ්‍ය ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් බාර ගත යුතු බව මෙහිදී කියන්න කැමතියි."යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)