May 07, 2024

ඔමික්‍රෝන් වැළදුණු ලංකාවේ කාන්තාව ගැන තවත් රහසක් එළියට

December 05, 2021

මෙරටින් වාර්තා වූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාධිත කාන්තාව සහ ඇයගේ සැමියා කිසිදු කොවිඩ් මර්ධන එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි බැංකුව ආසන්නයේ පදිංචි ඇය 25 හැවිරිදි විවාහක කාන්තාවක්.

ආසාධිත කාන්තාව සහ ඇයගේ 32 හැවිරිදි සැමියා පසුගිය ඔක්තෝම්බර් මස 28 වැනිදා ආගමික සමුළුවකට සහභාගී වීම සදහා නයිජීරියාවට ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනාම නොවැම්බර් මස 24 වැනිදා නැවත මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපලේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කාන්තාව කොවිඩ් ආසාධිත තැනැත්තියක බවයි. ඒ අනුව ඇයව පානදුර - ලුණාව පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර තිබෙනවා. ඇයගේ සැමියා තම සහෝදරයා සමග මෝටර් රථයකින් මාරවිල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

25 වැනිදා ආසාධිත කාන්තා ලුණුව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබෙනවා. ඇයගේ සැමියා මෝටර් රථයකින් ගොස් තම බිරිද මාරවිල ප්‍රදේශයට රැගෙන විත් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපලට සහ ලුණාව ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔවුන් දෙදෙනා තමන් පදිංචි ස්ථානය බවට ලබා දී ඇත්තේ මාරවිල සමනළ උයන ලිපියනක් බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

ආසාධිත කාන්තාව සහ ඇයගේ සැමියා සම්බන්ධයෙන් වන කිසිදු තොරතුරක් කටුනායක ගුවන් තොටුපලෙන් හෝ ලුණාව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඔවුන් පදිංචි බව කියවෙන මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත හෝ මාරවිල පොලීසිය වෙත එවා නැත. පසුගිය 03 වැනිදා මෙම කාන්තාව ඔමික්‍රෝන් ආසාධිත තැනැත්තියක බවට හදුනා ගෙන තිබෙනවා. අනතුරුව ඇය පදිංචි බව කියන මාරවිල - සමනළ උයන ලිපියනට සෞඛ්‍ය නිලධාරීන් සොයා ගොස් ඇතත් ඔවුන් එහි සිට නැහැ. ඒ වන විට ඔවුන් පදිංචිව සිට ඇත්තේ මාරවිල - හත්තනිය, සමෘද්ධි බැංකුව ඉදිරිපිට නිවසකය.

එම කාන්තාවගෙන් සහ ඇයගේ සැමියාගේ ජෛව සාම්පල ලබා ගෙන ඇති සෞඛ්‍ය නිලධාරීන් එම සාම්පල පරීක්ෂණ කටයුතු සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරා යොමු කර තිබෙනවා.

ආසාධිත කාන්තාව තමන් පදිංචි බව සදහන් කර ඇති මාරවිල සමනළ උයන නිවසේ සහ ඇය සොයා ගන්නා විට පදිංචිව සිටි තල්විල සමෘද්ධි බැංකුව ඉදිරිපට නිවසේ පදිංචිකරුවන්ව නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ආසාධිත කාන්තාව සහ ඇයගේ සැමියා මාරවිලට පැමිණීමෙන් පසුව හමුවී ඇත්තේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවා.

කොවිඩ් එන්නත ලබා නොගත් අයෙකුට මෙරටින් බැහැර වීමට හෝ මෙරටට ඇතුළු වීමට නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් පුන පුනා කියා සිටිනවා. එවන් පසුබිමක් තුළ මෙම යුවල කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගියේ සහ නැවත මෙරටට ඇතුළු වී ඇති ආකාරය ගැටළු සහගත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

එමෙන්ම ආසාධිත  කාන්තාව සහ ඇයගේ සැමියා සම්බන්ධ වන කිසිදු තොරතුරක් ගුවන් තොටුපලෙන් සහ ලුණාව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කර නොමැති වීම සම්බන්ධයෙන්ද වහා සොයා බලන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා සදහන් කරනවා. දැඩි අවදානම් තත්ත්වයක් ඇති මෙවන් කාල වකවානුවක තම රාජකාරි පැහැර හැරීමක් කර ඇති යම් අයෙකු වේ නම් ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිමය පියවර ගත යුතුව ඇතැයිද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, දැනට නීරෝධායනයට ලක් කර ඇති ආසාධිත කාන්තාවට සම්බන්ධ පවුල් දෙකක ජෛව සාම්පල ලබා ගැනීම 06 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 15:13