May 04, 2024

රනිල් බොරදියේ මාලු බායි: අර්බුදය අස්සේ "ජාතික ආණ්ඩු" මුට්ටිය යළිත් දායි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව සමඟ එකතු වන බවට රාවයන් පළ වනවා.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීම මුල් කොටගෙන ඇති වී තිබෙන අර්බුදකාරි වාතාවරණය තුළ යළිත් එම ජාතික ආණ්ඩු කතාව කරලියට පැමිණ තිබෙනවා.

තරුණ ක්‍රියාකාරීන්

ඒ සම්බන්ධයෙන් වූ ඉඟියක්ද වික්‍රමසිංහ මහතා පළ කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඔහු එසේ ඉඟි පළ කොට තිබෙන්නේ එ.ජා.ප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති හමුවකදී.

එහිදී ඊට සහභාගි වූ තරුණ පිරිස ජාතික ආණ්ඩු කතාව ගැන වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබෙනවා.

ජාතික වැඩ පිළිවෙළ

වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දීමේදී "ජාතික ආණ්ඩුව" යන වචනය වෙනුවට "ජාතික වැඩපිළිවෙල" යන වචනය පාවිච්චි කරමින් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බවයි අනාවරණය කර තිබෙන්නේ.

එසේ සියලු පක්ෂ එක්ව ඉදිරි දශක දෙක වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කොට තිබෙනවා.

මැතිවරණයකට යා යුත්තේ ඉන් පසුව බවයි ඔහු තරුණ පිරිස අමතා සඳහන් කළේ.

මේ අවස්ථාව මහ මැතිවරණයකට යාම සඳහා අවස්ථාවක් නොවන බව එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ තිබෙන ආර්ථික අර්බුදය ඉතා දරුණු බව සඳහන් කරමින්.

අගමැති ප්‍රශ්නය

ඔබ ජාතික ආණ්ඩුවක අගමැති වෙලා යනවා දැයි එහිදී ප්‍රශ්නයක් මතු වී තිබෙන අතර වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දී තිබෙන්නේ සිය සුපුරුදු ලිස්සා යෑමේ ප්‍රතිපත්තියෙන්.

"මම අගමැති වුණාම ඔය කට්ටියටත් ඇමතිකම් දෙන්නම්."

වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නයට දී තිබෙන පිළිතුර එයයි.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 09 March 2022 14:50