මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පවත්වා තිබෙනවා.
එහිදී මුදල් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද මුදල් ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වනවා.
වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් එහිදී ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.
‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ යැයි බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බව පෙන්වා දී තිබෙන බැසිල් රාජපක්ෂ මහතා ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් එහිදී සඳහක් කර තිබෙනවා.