April 19, 2024

බැසිල්ට එරෙහි විශ්වාසභංගයකදී ගන්නා ස්ථාවරය විමල් ප්‍රථම වරට හෙළි කරයි

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට කුමන හෝ පාර්ශ්වයක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත විමල් වීරවංශ මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

ඔහු එම හෙලි දරව්ව කළේ හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින්.

විපක්ෂයේ විශ්වාසභංගය

ඉතා නුදුරේම සමගි ජන බලවේගය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගැනීමට සූදානම් බවත් , එහිදී පක්ෂ 11 සන්ධානය ගන්නා තීන්දුව කුමක්දැයි වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුර ලෙස ඔහු කරුණු දෙකක් පෙන්වා දුන්නා.

ඉන් පළමුවැන්න වූනේ එසේ ගෙන එන විශ්වාසභංගය ජයග්‍රහණය කළ හැකි එකක් විය යුතු බවයි.

ප්‍රතිපත්තිමය තීන්දුව

දෙවැනි කරුණ වූයේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කවුරු විශ්වාසභංගයක් ගෙන ආවත් ඊට පක්ෂව ඡන්දය දෙන බවයි.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වීරවංශ මහතා නියෝජනය කරන පක්ෂ 11 සන්ධානය විශ්වාසභංගයක් ගෙන නොඑන්නේ මන්දැයි යන්නත් එම වැඩ සටහනේදී ප්‍රශ්න කෙරුණා.

තම පාර්ශවය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊටත් එහා ගිය දේවල් මේ වන විටත් සූදානම් කරමින් සිටින බවයි ඊට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා වන විමල් වීරවංශ මහතාව ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කිරීමත් සමග ඔහු මේ වන විට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 15 March 2022 19:27