April 26, 2024

පැය 48න් පෝලිම් ඉවරයි! අලුත් අගමැතිට පුටුව ලෑස්තියි: ජාත්‍යන්තරය සහයට එයි

මේවන විට අගමැති පුටුවේ වෙනසක් සිදුවන බවට දේශපාලන වේදිකාවේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අනුව අගමැති පුටුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ ආණ්ඩු පක්ෂය ප්‍රතිචාර දක්වා තිබුණා.

පොහොට්ටුවේ මතය

පාර්ලිමේන්තු මැතිවරණයේ එක් අසුනක්වත් දිනා ගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමක් දීමට තරම් මොළේ අමාරුවක් පොදුජන පෙරමුණට නැති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

නමුත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (28) කොළඹ ලන්ඩන් හවුස් ඔෆ් කොෆී හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූවේ රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා රට බාර ගතහොත් පැය 48ක් ඇතුළත පෝලිම් අවසන් කරන බව තමා කැට තබා පවසන බවද අබේවර්ධන මහතා සඳහන් කළා.

විදෙස් සහය

වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකි පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ සැනින් ජාත්‍යන්තර උපකාරය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසූවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට සුදුසුම පුද්ගලයා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය දරන බවයි.

ඒ නිසා වෙන පුද්ගලයන්ට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම ගැන පොදු ජන පෙරමුණ කල්පනා කළ යුත්තේ මන්දැයි මහ ලේකම්වරයා ප්‍රශ්න කරනවා.

ජාතික ආණ්ඩුවක අගමැති තමන් බවට යන ප්‍රවෘත්තිය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම සිදු කළ එකක් බවයි ආණ්ඩු පක්ෂය සඳහන් කරන්නේ.

Rate this item
(5 votes)