May 03, 2024

"උදේ 4 ඉඳන් පෝලිමේ" - ගෑස් ගන්න පැමිණි ජනතාව ආණ්ඩුවට දෙහි කපයි

December 29, 2021

ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක් අදත් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

කුරුනෑගල ගනේවත්ත තඹකැන්න ප්‍රදේශයේ නිවසක් තුල කෑම පිසිමින් සිටියදී ගෑස් උදුනක් ගිනි ගෙන තියෙනවා.

පිටිගල මියාගල සහ මානම්පිට ප්‍රදේශවල නිවාස 2ක ගෑස් උදුන් දෙකක් මෙලෙස පුපුරා ගොස් ඇති අතර නිවැසියන් පැවසුවේ සිලින්ඩර් වලින් ගෑස් කාන්දු වූ බවයි.

බගවන්තලාව චැපල්ටන් තේ වතුයායේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගෑස් උදුනක් පුපුරා ගොස් ඇති අතර දිවා ආහාරය පිලියෙල කරමින් සිටියදි එක්වරම විශාල ශබ්දයක් සමග ගෑස් උදුන පිපිරි ගිය බවයි නිවෙස් හිමියා කියා සිටියේ.

පිපිරිමෙන් ගෑස් උදුනට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නැහැ.

ගෑස් සිලින්ඩරය මීට මාස තුනකට පමණ පෙර බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිලදි ගත් බවයි නිවාස හිමියා කියා සිටියේ.

දිවයිනේ ප්‍රදේශ රැසකම අදත් ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

"ආණ්ඩුව වෙනස් කරලා හරි යන්නේ නැහැනේ. කවුරු ආවත් කරන්න බැහැනේ මේක. රටේ ප්‍රශ්නයක් තියෙනවනේ ඩොලර් හින්දා."

"ජන්දේ ගන්නකොට 1500ක් දීලා මිනිස්සු ගේනවනේ. රෑ කෑම, තුන් වේල කෑම දෙනවා. දැන් බඩගින්නේ ඉන්නවා ළමයි ඔක්කොම. ඇයි මෙහෙම අපරාධ කරන්නේ? පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා. ඊට පස්සේ පාටි දාගෙන ඔක්කොම යාලුවෝ."

"තේ බොන්නවත් ගෑස් නැහැ."

"මිනිස්සු බය වුණාට ගෑස් ගන්නවා. ලාම්පුතෙල් කොච්චර කියලා ගන්නද? දර නැහැ කොළඹ ඉන්න කට්ටියට පත්තු කරන්න. ඒ නිසා මොනා වුණත් ගෑස් අරගන්නවා."

"උදේ 4 ඉඳන් පෝලිමේ ඉන්නේ"

"බයයි මොනා කරන්නද? ඔක්කොම කෑම ටික හෙල්මට් එක දාගෙන උයනවා. දවස ගානෙම පෝලිමේ 200ක් විතර ඉන්නවා. දවසට එන්නේ 40ක් 50ක්."

"අවුරුදු දවසේ හරි මිනිස්සුන්ට උයාගෙන කන්න කරන්න ගෑසුත් නැහැ. භුමිතෙලුත් නැහැ."

මේ අතර පවතින ගෑස් හිඟය තවත් සති දෙකක පමණ කාලයකින් අනතුරුව මඟ හැරී යනු ඇති බව ලිට්රෝ සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි ලේකම් ටෙරන්ස් අප්පුහාමි මහතා කියා සිටියේ, ගෑස් රැගෙන පැමිණි නෞකාවක් යළි හරවා යැවීම හේතුවෙන් මෙලෙස ගෑස් හිඟයක් මතු ව ඇති බවයි.

වැඩි වූ ඉන්ධන මිලට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාරයන් සංවිධානය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 20:41