March 29, 2024

කොළඹ සවාරියේ ගිය ඇමැති බන්දුලට මහින්දගෙන් හදිසි ඇමතුමක් Featured

December 29, 2021

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ කොටුව සහල් තොග වෙළෙඳසල්වල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා වෙළඳ අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ වෙළඳපොලේ සහල් හිඟයක් පවතිනවාද යන්නයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ "මම දැන් ඉන්නේ පිටකොටුවේ මුළු රටටම හාල් බෙදන තැන එතන කිසිම හිඟයක් නැහැ කියලා." යනුවෙනුයි. 

වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවා සහල් මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කෘත්‍රිම හිඟය ඇති කිරීමේ අවාසිය භුක්ති විඳීමට සිදු වන්නේ පාරිභෝගිකයාට බවත් ඔහු සඳහන් කළා.

වරායේ සිරවී ඇති සහල් තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආනයනකරුවන් වෙත අද නිකුත් කරන බව වෙළඳ අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මිල වැඩි කර ගැනීම සඳහා මේ වන විට වෙළඳපොළ තුළ කෘතිම සහල් හිඟයක් නිර්මාණයවී ඇති බවයි.

"මේ වන විට දේශීය සහල් රුපියල් 5කින් වෙළඳපොලේ මිල වැඩි කරලා තියෙනවා. මේක මේ මිල වැඩි කර ගැනීමට පාවිච්චි කරන උපක්‍රමයක්. ඕනේ තරම් සහල් තොග තියෙනවා.  කැකුළු හාල් තියෙනවා 108 - 110යි. සම්බා සහල් තියෙනවා තොග 120 - 122යි. දැන් මම මේ ස්ථානයේ ඉන්නකොටත් ගරු අග්‍රාමාත්‍යතුමා මට කතා කළා මොකද හාල් හිඟයක් තියෙනවද කියලා. එතකොටත් කවුරු හරි කතා කරලා කියලා තියෙනවා හාල් හිඟයක් තියෙනවා කියලා. මම කිව්වා මම දැන් ඉන්නේ පිටකොටුවේ මුළු රටටම හාල් බෙදන තැන එතන කිසිම හිඟයක් නැහැ කියලා. අද දිනයේදී විශාල හාල් ප්‍රමාණයක් තියෙනවා නිදහස් කර ගන්න. ඒවා නිදහස් කර ගන්න ඩොලර් අද ව්‍යාපාරිකයන්ට නිකුත් කරනවා. ඊයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා කිව්වා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිම හිඟයකින් තොරව නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සපයන්න අපේ අමාත්‍යංශය විසින් ලැයිස්තුවක් ලබා දෙනවා. ඒ නිසා ඉදිරි දවස්වල ඒ තොග ලැබීමත් සමඟම තව මිල අඩු වෙන්න පුළුවන්."

ආනයනික සහල් කන්ටේනර් 300 ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත් ඩොලර් ලැබෙන්නේ නම් එම කන්ටේනර් නිදහස්කර ගත හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවා.

එම කන්ටේනර් නිදහස්කර ගැනීමට අද (29) දිනයේ ඩොලර් නිදහස් කරන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වූ බවත් ඩොලර් ලැබෙන්නේ නම් ඉන්දියාවෙන් ඉතාමත් ඉක්මණට සහල් ගෙන්වාගත හැකි බවත් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර දිවයින පුරා සතොස ශාඛාවලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ තම දෛනික ව්‍යාපාර කටයුතු පහත වැටි ඇති බව සතොස ශාඛාවල සේවකයින් කියා සිටිනවා.

හැටන් සතොස ශාඛාවට ඊයේ (28) දින සුදු සහල් කිලෝ 350 පමණක් ලැබුණු බවත්, සුදු සහල් කිලෝවක් රුපියල් 105 අලෙවි කරන බවයි එම සතොස ශාඛාවේ සේවකයින් කියා සිටියේ.

සිනි, කිරිපිටි, සහල්, බි ළුණු තම ශාඛාවේ නොමැති බවත්, මේ දිනවල සහල් කිලෝ 10ක් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රුපියල් 1980කට අලෙවි කරන බවයි එම සතොස ශාඛාවේ සේවකයින් කියා සිටියේ.

සතොස ශාඛාවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමට නොමැති විම හමුවේ එම ශාඛාවට පාරිභෝගිකයන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

මේ අතර සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් අද (29) උදෑසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

සහල් හිගයක් ඇතිවනු ඇතැයි යන විශ්වාසය මත මෙසේ පාරිභෝගිකයින්  සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියා.

මෙම තත්වය හේතුවෙන් වෙළදුන්ට තොග අලෙවිසැල්වලින් සහල් නිකුත් කරණු ලැබුවේ සිමාසහිත ප්‍රමාණයක් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කලේ.

එමෙන්ම නත්තල් උත්සව සමය අවසන් වීමත් සමග දේශිය වෙලදපොලේ එලවළු මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

රුපියල් 400 අලෙවි වු කැරට් කිලෝවක් රු 480-500 , බෝංචි, වම්බටු, මාළු මිරිස් මිල කලින් මිලට වඩා රුපියල් 75 කින් පමණ ඉහල මිලකට අලෙවි වන අතර , අමු මිරිස් කිලෝවක් කලින් මිලට වඩා රුපියල් 200 කින් ඉහල යාම නිසා අමු මිරිස් කිලෝවක් රුපියල් 1200 කට අලෙවි කරනු ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

මුරුංගා කිලෝවක් රුපියල් 600, දෙල් ගෙඩියක් රුපියල් 180 , පලා මිටියක් රු 60 අලෙවි කරනු ලබන අතර හැටන් ප්‍රදේශයේ එලවළු පාරිභෝගිකයන් කියා සිටින්නේ එලවළු ග්‍රැම් 250 මිලට ගත් තමන්ට මේ වන විට එලවළු ග්‍රැම් 100 මිලදී ගැනිමට සිදු වී ඇති බවයි.

දේශිය වෙලදපොලේ යලිත් එලවළු මිල ඉහල යාමට හේතුව වී ඇත්තේ එලවළු ගොවිපොලවල් තිබු එලවළු නත්තල් සමයට වෙලදපොලට නිකුත් කිරිම නිසා බවත්, මේ වන විට වෙලදපොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා එලවළු මිල යලිත් ඉහල යන බවයි වෙළෙන්දන් සඳහන් කරන්නේ.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 29 December 2021 15:29