May 13, 2024

ගෑස් අර්බුධය : පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නඩු දමයි

December 14, 2021

ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව මෙම සතියේ නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා. 

ලිට්‍රෝ සමාගම විසින් පසුගියදා ආනයනය කළ මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට  බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ එහි ප්‍රමාණවත් තරම් එතිල් මර්කැප්ටන් නොමැති බවට අනාවරණ වීමත් සමඟයි.

එසේම, ඊයේ ගෑස් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ආසන්නයට සේන්දු වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම නෞකාවේ පවතින ගෑස් සාම්පල පරීක්ෂා කිරීම සඳහා මේ වන තෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් සිදු කර නොමැති බවයි වරාය ආරංචි මාර්ග සඳහන් කළේ.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා කියා සිටියේ, තම අධිකාරියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් සම්බන්ධ පිපිරීම් අදත් වාර්තා වී ඇති අතර, යාපනය - තුන්නාලේ ප්‍රදේශයේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ ගෑස් උඳුනක් ද අද අලුයම පිපිරීමට ලක් ව තිබෙනවා. ඒ, ඔහුගේ බිරිඳ ආහාර සකස් කරමින් සිටින අතරවාරයේයි.

සිද්ධියෙන් ඇය තුවාල ලබා ඇති අතර ඊට අමතරව හඟුරන්කෙත, කැස්බෑව, අනුරාධපුර සහ කළුතර යන ප්‍රදේශවලින් ද ගෑස් සම්බන්ධ පිපිරීම් වාර්තා වුණා.

මේ අතර, පසුගිය නොවැම්බර් 19 වැනිදා ගෑස් සම්බන්ධ ගිනි ගැනීමක් හේතුවෙන් තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 6 වැනි දා මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

කාන්තාව මියගිය දිනවල දී පොලිසිය සඳහන් කළේ, එය ගෑස් ආශ්‍රිත අනතුරකින් සිදු වූ මරණයක් නොවන බවයි.

කෙසේවෙතත් පසුව නිකුත් කෙරුණු මරණ පරීක්ෂණයේ දැක්වුණේ මරණයට හේතුව පිලිස්සුම් තුවාලයක් බවටයි.

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැරි මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබුණා.

දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයා බැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව පසුගියදා මාධ්‍යයට නිකුත් කළ අතර එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම්තාක් දුරකට වැඩි වී ඇති බවයි.

ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක් නොවූ ගෑස් ලිප්වලට හානි වීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරි‍ය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් පසුගියදා මිල දී ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස්‌ සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින්  සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පැවසුවා.

ලිට්‍රෝ ගෑස්‌ පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගෑස්‌ සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියොජිතයන් වෙත එම සමාගම විසින් ගෑස්‌ සිලින්ඩර් තොග බෙදා හැරි අතර ඔවුන් සතු පැරණි ගෑස්‌ තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ආණ්ඩුවේ හිමිකාරිත්වය තිබෙන සමාගමක් වන ලිට්‍රෝ සමගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියයි. ඒ අනුව ගෑස් පිපිරීම් වලින් බලපෑමට ලක්වූ පිරිස සේම, ගෑස් පරිභෝජනය කරන කරන ජනතාවට සහන සැලසීමට රාජ්‍ය සමාගම සහ පාරිභෝගිකයන් වෙනුවෙන් සිටින පාරිභෝගික අධිකාරිය සමත් වෙයිද?

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 16:04