May 03, 2024

කිරිපිටි හිඟය යළි මතු වෙයි - ජනතාව දිගු පෝලිම්වල (PHOTOS)

December 14, 2021

රට පුරා යළි කිරි පිටි හිඟයක් ඇති වීමේ සූදානමක් පවතින බවට සමාජය තුළ කතාබහක් හටගෙන තිබෙනවා.

මේ බව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳසල් හිමිකරුවන් සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී ඇති බව ද සඳහන්.

එමෙන්ම බොහෝ වෙළඳසල් තුළ කිරිපිටි පැකට්ටු අවසන් වී ඇති බව ද පාරිභෝගිකයන් ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

තව ද ඇතැම් වෙළඳසල්වලින් එක් වරකට එක් කිරිපිටි පැකට්ටුවක් පමණක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔවුන් අප වෙත ප්‍රකාශ කළේ.

මේ වන විටත් කිරි පිටි මිලට ගන්නට වෙළඳසල් තුළ නොමැති බව ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසනවා.

දින කිහිපයකට පෙර ද දිවයින පුරා දැඩි කිරිපිටි හිඟයක් ඇතිවූ අතර එයින් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් වුණා.

කිරි පිටි පැකට්ටුවක් මිලට ගැනීම සඳහා දිගු පෝලිම්වල පාරිභෝගිකයින් සිටින අයුරු ඒ දිනවල දක්නට ලැබුණා.

උග්‍ර කිරිපිටි හිගයත් සමග නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට අද (14) දින කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනිමට පාරිභෝගිකයන් දිගු පෝලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාලාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත අද (14) දින ලබා දුන් කිරිපිටි පැකට් 360 මිලදී ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන් උදැසන සිට දිගු පෝලිම් වල රැදි සිටියා.

තම අලෙවිසැලට ලද සිමිත කිරිපිටි පැකට් ප්‍රමාණය එක් පාරිභෝගිකයෙකුට එක් පැකට්ටුව බැගින් නිකුත් කල බව කිරිපිටි අලෙවිසැලේ සේවකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

කිරිපිටි පැකට් මිලදී ගැනිම සදහා පෝලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිලදී ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙන්.

මේ අතර කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක්ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩොලර් හිඟයට විසදුම් ලබා නොදුනහොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බව ද කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනවා.

එසේම ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, රට තුළ මතු ව ඇති ඩොලර් ගැටලුවත් සමඟ ආනයන තවදුරටත් සීමා කිරීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවයි ඔහු එහි දී ප්‍රකාශ කර ඇත්තේ.

ආනයනික කිරිපිටි මෙන්ම වෙළෙදපොළේ මේ වනවිට දේශීය කිරිපිටිවල ද හිඟයක් හටගෙන තිබෙනවා.

Rate this item
(0 votes)