May 18, 2024

අමෙරිකාවේ 9/11 ප්‍රහාරය ගැන ශ්‍රී ලංකාවෙන් පණිවිඩයක්

September 11, 2021

අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ කෲරතම ත්‍රස්ත ප්‍රහාරය වන 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා නැතහොත් 9/11 ප්‍රහාරයෙන් සිදුවූ විනාශය එරට ජනතාව අද (11) දිනයේ සිහිපත් කරමින් සිටියි.

නිව්යෝර්ක් නුවර පිහිට අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 2,996 දෙනෙකු මිය ගියා.

මේ ප්‍රහාරයෙන් සිදුවූ විනාශ පිළිබඳව සිහිපත් කරන අමෙරිකානු ජනතාව වෙත සිය සහයෝගය පළ කරමින් විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හරහා ශ්‍රී ලංකා රජය විසින් පේනවා දෙන්නේ සෑම ආකාරයකම ත්‍රස්තවාදය සහ එහි ප්‍රකාශනයන් තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බවයි.

විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.

රටේ සමකාලීන ඉතිහාසයේ ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිහිපත් කරන මෙම අවස්ථාවේ දී, ශ්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ එහි රජය වෙත සිය සහයෝගය පළ කරයි. මේ අවස්ථාවේදී, එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු වෙත ද ශ්‍රී ලංකාව උපහාර  දක්වයි .

දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ශ්‍රී ලාංකික භූමියේ පැවති අභියෝගය සාර්ථකව ජයගත් රටක් ලෙස, සෑම ආකාරයකම ත්‍රස්තවාදය සහ එහි ප්‍රකාශනයන් තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව ශ්‍රී ලංකා රජය යළි අවධාරණය කරයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 11 වැනි දින

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 September 2021 12:57