March 19, 2024

ප්‍රකට රැප් ගායක ඩොල්ෆ් මහමග දී ඝාතනය කෙරේ (PHOTOS)

November 18, 2021

වෙඩි ප්‍රහාර දෙකක්

සුප්‍රසිද්ධ රැප් ගායක “යං ඩොල්ෆ්” ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ මෙම්ෆිස් නගරයේ දී එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් ඔහු මරණයට පත්ව ඇති බව යි මේවන විට වාර්තා වන්නේ.

“යං ඩොල්ෆ්” යනු ඔහුගේ වේදිකා නාමයවන අතර “ඇඩොල්ෆ් රොබට් තෝන්ටන් ජූනියර්” යන්න ඔහුගේ සත්‍ය නම වනවා.

ගායක ඩොල්ෆ් “කුකීස්” මිලට ගැනීමට වෙළඳ සැළකට ගොස් සිටි අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවෙකු එහි පැමිණ වෙඩි තබා ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එහි දී ඔහු වෙත වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව මෙම්ෆිස් පොලීසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, මේවන විටත් ඒ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

දෙදරු පියෙකු ද වන ඔහු මියයන විට 36 වැනි වියෙහි පසු වූවා.

ආරක්ෂාව තර කරයි

මේ අතර කළු අමෙරිකානුවෙකුවන යං ඩොල්ෆ් මෙලෙස මහමග දී ඝාතනය වීම හරහා මෙම්ෆිස් ප්‍රදේශයේ මහජන කැළඹීමක් සිදුවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම්ෆිස් පොලීසිය නගරවාසීන්ට නිවේදනය කර ඇත්තේ සන්සුන්ව නිවෙස් තුළටම වී සිටින ලෙසට යි.

එමෙන්ම නගරය පුරා ඇඳිරිනීතිය පනවන ලෙසට ප්‍රදේශයේ දේශපාලන නායකයන් කිහිපදෙනෙකුම ඉල්ලීම් සිදු කොට ඇති බව ද වාර්තා වූවා.

කෙසේ වෙතත් මෙම්ෆිස් පොලිස් ප්‍රධානී සී.ජේ. ඩේවිස් මහත්මිය සඳහන් කරන්නේ මෙතෙක් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතත්, අමතර පොලිස් භටයන් කැඳවා නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව යි.

එමෙන්ම මේවන විට එක්සත් ජනපදය සිසාරා ගිනි අවි අපරාධ හිස ඔසවමින් පවතින බවට මෙම සිදුවීම ද එක් උදාහරණයක් බව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය වැඩිදුරටත් පවසනවා.

උණ්ඩ හුරුපුරුදුයි

යං ඩොල්ෆ් වෙඩි ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර 2017 වසරේ පෙබරවාරියේ දී ඔහු ගමන් ගත් රථය ඉලක්ක කර දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එහි දී වෙඩි ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් ඔහුගේ රථයට එල්ල වී තිබූ බව හෙළි වූවා.

එදින ඔහුගේ ජීවිතය බේරී තිබුණේ අදාළ රථය වෙඩි නොවදින තත්ත්වයේ තිබීම හේතුවෙන්.

එමෙන්ම එම වසරේම සැප්තැම්බර් මාසයේ ද ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු අතර ඩොල්ෆ් එහි දී තුවාළ ලැබූ නමුත් දිවි ගලවාගැනීමට සමත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 November 2021 13:15