April 23, 2024

ලොවම දන්න හිටපු ජනපති දැඩි සත්කාර ඒකකයට

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකුවන බිල් ක්ලින්ටන් මහතා හදිසියේ රෝහල්ගත කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඔහු මෙලෙස ඇතුළත් කර ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට යි.

ක්ලින්ටන් මහතා එහි දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබන බව යි වැඩිදුරටත් පැවසෙන්න‍ේ.

හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් CNN පුවත් සේවය වෙත පවසා ඇත්තේ ඔහුට බලපෑ මූත්‍රා ආසාදනයක් මේවන විට රුධිර සංසරණ පද්ධතිය දක්වා පැතිර ගොස් ඇති බව යි.

මේවන විට ඔහුගේ තත්ත්වය සමීපව අධ්‍යනය කරමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේ ද ක්ලින්ටන් මහතාට දැඩි සත්කාර ඒකකයේ සිටීමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරු පවසනවා.

කෙසේ වෙතත් ඔහුට ජීවිත අවධානමක් නොමැති බව පෙන්වා දෙන වෛද්‍යවරු වැඩිදුරටත් අනාවරණය කළේ හිටපු ජනාධිපතිවරයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව යන හේතු නිසා මිස ඔහුට දැඩි සත්කාර අවශ්‍ය නිසා නොවන බව යි.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ද දුරකතන ඇමතුමක් ඔස්සේ අමතා ක්ලින්ටන් මහතාගේ සුව දුක් විමසා ඇති බව ද සඳහන්.

බිල් ක්ලින්ටන් අමෙරිකා එක්සත් ජනපදයේ 42වැනි ජනාධිපතිවරයාවන අතර මේවන විට ඔහු 75 වැනි වියෙහි පසුවනවා.

මේ අතර හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කිරීමේ පුවතත් සමග ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි ලොව පුරා පැතිර ගිය තොරතුර ව්‍යාජ එකක් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 October 2021 08:41