April 18, 2024

එන්නත නොගන්නා හමුදා සෙබළුන්ට ලැබෙන දඬුවම

November 23, 2021

කොවිඩ් 19 මර්ධන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සෙබළුන්ට, ඊට දඬුවම් ලෙස විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අමෙරිකා එක්සත් ජනපද හමුදාව නිවේදනය කර තිබෙනවා.

හමුදාවේ අණට කීකරු නොවීමක් ලෙස මෙය සලකන බවට යි හමුදාව අනතුරු අඟවා ඇත්තේ.

ඒ අනුව එලෙස එන්නත් ලබා නොගන්නා සෙබළුන් කිසිදු අයුරකින් උසස් නිලයක් වෙත උසස් වීමකට පත් නොකරන බව හමුදාව පවසනවා.

එමෙන්ම කිසිදු හමුදා සම්මානයකට හෝ පදක්කමකට ඔවුන්ට හිමිකම් කීමට නොහැකිවනු ඇති බව ද හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එවැනි සෙබළුන් හට වැටුප පිළිබඳව ද අනතුරු අඟවා ඇති හමුදාව පවසා ඇත්තේ එන්නත ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් හට කිසිදු දීමනාවක් නොලැබී යනු ඇති බව යි.

එපමණක් නොව, ඔවුන් සුවපහසු නොවන, අපහසු රාජ්‍යයන් සහ භූමි ප්‍රදේශ වෙත රාජකාරී සඳහා යොදවන බවට ද එක්සත් ජනපද හමුදාව සිය සාමාජිකයන්ට නිවේදනය කර ඇති බව සඳහන්.

තව ද එන්නත් ප්‍රතික්ෂේප කරන සෙබළුන් කිසිදු විශේෂ රාජකාරි සඳහා යොදවා නොගන්නට එරට හමුදාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම විවිධාකාරයේ විශේෂ හමුදා උත්සව වැනි සුවිශේෂී අවස්ථාවන්ට මෙම සෙබළුන්ව කිසිම අයුරකින් සම්බන්ධ නොකරගන්නා ලෙසට ද හමුදාව නීති සකස් කොට ඇති බව වාර්තා වෙනවා.

එරට හමුදා සාමාජිකයන් උසස් අධ්‍යාපනය ආදී දෑ වලට යොමුවෙද්දී හමුදාව විසින් ඒ සඳහා විශේෂ උපකාර සිදුකරන අතර එන්නත් ප්‍රතික්ෂේප කරන සෙබලුන් හට එවැනි කිසිදු උපකාරයක් ද නොලැබී යනු ඇති බව ද හමුදාව නිවේදනය කරනවා.

මෙම කරුණුවලට අමතරව, එන්නත ප්‍රතික්ෂේප කිරීම යන ක්‍රියාව අසාදු ලකුණක් ලෙස අදාළ සෙබලුන්ගේ පුද්ගලික ලිපිගොණුවට ඇතුළත් කිරීමට ද එක්සත් ජනපද හමුදාව තීරණය කර ඇති බව යි වාර්තා වන්නේ.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තා හමුදා ලේකම්වරියවන ක්‍රිස්ටීන් වර්මත් විසින් මෙම කරුණු නිවේදනය කර ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් පෙන්ටගන වාර්තා පෙන්වා දෙන්නේ එරට හමුදා සාමාජිකයන්ගෙන් 72%ක ප්‍රමාණයක් මේවන විටත් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බව යි.

එහෙත් ගුවන් හමුදා සාමාජිකයන් 8,500ක පමණ පිරිසක් ඇතුළු ඇතැම් හමුදා සාමාජිකයන් අතලොස්සක් දෙනා මේවන තෙක් එකදු මාත්‍රාවක් හෝ ලබා නොගෙන ඇති බවත්, එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ට ලබා දී තිබූ කාල සීමාව ද නොවැම්බර් මස 28 වැනි දින අවසන් වීමට නියමිත යි.

ආගමික හේතු ඉදිරිපත් කරමින් ඔවුන් කොවිඩ් 19 මර්ධන එන්නත් ලබා ගැනීම මෙලෙස මගහරින බව යි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 06:26