ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා ඉදිරිපත් වන බවට අද (24) දිනයේ දී ප්‍රකාශයට පත් කළේය.
උන්වහන්සේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව සිටියි.
ඒෂියන් මිරර් අප උන්වහන්සේගෙන් මේ සම්බන්ධව කරුණු විමසීමක් සිදු කළෙමු. උන්වහන්සේ එහිදී තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරිපත් වන බවට අප වෙත තහවුරු කළේය.
එහිදී උන්වහන්සේ අප වෙත පවසා සිටියේ මෙවන් අදහසකි.
එහිදී අප විසින් සීලරතන හිමියන්ගෙන් විමසා සිටියේ උන්වහන්සේ නිලවරණයට ඉදිරිපත් වීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව හෝ එම ක්‍රීඩාවේ ස්භාවය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තාද යන්නයි.
එයට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “අපි ඉපදෙන කොට කිසිම දෙයක් ඉගෙන ගෙන ආවේ නැහැ නේද? අපිට ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා.. රටේ විධායක ජනාධිපති ධූරය මම දෙපාරක් තුන්පාරක් ඉල්ලුවා.. විධායක බලය අරගෙන රට කරන්න පුළුවන් නම් ක්‍රීඩාව සම්බන්ධ ඉන්ටර්නැෂනල් නීති ගැනත් අප දැනගන්න ඕන…” යන්නයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් අද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා සීලරතන හිමියන්ට වැඩපිළිවෙළක් ඇතිද යන්නත් ඒෂියන් මිරර් අප විමසා සිටියෙමු.
“...ඇත්ත වශයෙන්ම මට හොඳකාරවම එදා සිට අද දක්වාම මට දැන් අවුරුදු 51යි. නමුත් අපි ස්කෝලේ ගිය කොල්ලෝ නේහේ.. එදා තිබුණු ක්‍රීඩාව නෙමෙයි අද තියෙන්නේ..මේ ක්‍රීඩාව කියන එක අපේ රටෙන් වෙන රටවලට පවා දීපු කොටසකුත් හිටියා..අපේ රටේ ක්‍රීඩකයන්ට වෙන ආසාධාරණයන් ගැන කතා කරන්නේ කවුද කියලා බලන්න..” යැයි එම පැනයට පිළිතුරු දෙමින් සීලරතන හිමියන් ප්‍රකාශ කළේය.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් විමසා සිටියේ විදෙස් රටවල මෙන් මෙරට ක්‍රීඩකයන්ව දිරිමත් නොකරන්නේ මන්ද යන්නයි.
බෞද්ධ ආගමයි, ක්‍රීඩාවයි යනු එකිනෙකට නොගැලපෙන දෙයක් යන්නත් මේ නිසා සීලරත්න හිමියන් හාස්‍යයට ලක්විය හැකි බවත්, චෝදනා එල්ල විය හැකිය යන්නත් අප සීලරතන හිමියන්ට පවසා සිටියෙමු.
බුදු දහමයි ක්‍රීඩාවයි මෙතන සම්බන්ධ කරගන්න එපා යැයි ප්‍රකාශ කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මම යන්නේ බණ කියන්න නෙමෙයිනේ එතනට..මම එතනට යන්නේ එතන පාලනයේ තියෙන වැරැදි තියෙනවා නම් ඒවා හරි මඟට ගන්න..” යැයිද උන්වහන්සේ සඳහන් කළේය.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඒෂියන් මිරර් වෙත දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,