May 19, 2024

සිංහ කොඩිය පෙන්වා විරෝධය පළ කළ සිංහයෝ (PHOTOS)

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන ඊයේ (12) දිනයේ දී නිපන්දුවක් හේතුවෙන් කඩුල්ලක් අහිමි වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමණාකාරීත්වය තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට විරෝධය දැක්වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය ජාතික ධජය වන සිංහ කොඩිය පවා යොදා ගෙන තිබිණ.

නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 58 ක් ලබා සිටියදී දැවී ගියේය.

එහෙත් එම අවස්ථාවේ ප‍්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු රොඞ්නි ටකර් මහතා විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම්කරනු ලැබීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරුවාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිය හැකිවිය.

රූපවාහිනී පුනරූපන වලින් දිස්වූයේ එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි නුවන් ප‍්‍රදීප්ගේ පාදයේ කොටසක් පන්දු යවන්නාගේ සීමාවට පසුපසිත් තිබූ බැවින් එය නිපන්දුවක් නොවන බවයි.

විනිසුරුවරයා නිපන්දුවක් ලෙස නම්කරන ලද පන්දුවක් සම්බන්ධයෙන් පන්දු රකිමින් සිටින කණ්ඩායමට අභියෝග කළ නොහැකි හෙයින් ශී‍්‍ර ලංකා පිලට එම අවස්ථාවේදී හේල්ස්ගේ කඩුල්ල අහිමි විය. එසේ වුවත් පිතිකරුවකු දැවී ගිය අවස්ථාවකදී එම පන්දුව නිපන්දුවක්ද නැද්ද යන්න පිළිබඳව තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසා සිටින්න’යි පිතිකරුවකුට ඉල්ලා සිටිය හැකිය.

අනෙක් අතට වර්තමානයේ බලපවත්වන කි‍්‍රකට් නීති රීති අනුව එවන් අවස්ථාවකදී කිසියම් මැදහත්වීමක් සඳහා තුන්වැනි විනිසුරුවරයාටද බලයක් නැත.

ශී‍්‍ර ලංකා පිලට එම කඩුල්ල අහිමි වන විට එංගලන්ත පිල කඩුලූ 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 132 ක් පමණි. හේල්ස්ගේ ලකුණු සංඛ්‍යාව 58 ක් විය. එතැනින් වාසනාව ලද ඇලෙක්ස් හේල්ස් ලකුණු 94 ක් ලබාගත් අතර නායක ඇලිස්ටෙයාර් කුක් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහත් කණස්සල්ලට පත්ව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක සහ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් යන මහත්වරු තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා හමුවී සිදුවීම ගැන පැමිණිලි කළහ. එපමණකින් නොනැවතුණ ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ ජාතික කොඩිය වන සිංහ කොඩියද විනාඩි 45 ක පමණ කාලයක් ලෝඞ්ස්හි කී‍්‍රඩක විවේකාගාර සඳලූතලයේ අමුණා තැබූහ.

සාම්ප‍්‍රදායිකව කෙරෙන්නේ කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයට ඉහළින් ජාතික කොඩි ඔසවා තැබීම මිස විවේකාගාර සඳලූතලයේ ඒවා අමුණා තැබීම නොවේ. පසුව මාර්ලිබෝන් කී‍්‍රඩා සමාජයේ (එම්.සී.සී.) ඉල්ලීමක් පරිදි ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් සඳලූ තලයෙන් සිංහ කොඩිය ඉවත් කරගන්නා ලදි.

”අපිට කිසියම් වේදනාවක් දැනෙනවා. ඒක හරිම කණගාටුදායකයි”

”මේ සංචාරයේ යෙදිලා ඉන්න කණ්ඩායමේ කළමණාකාරීත්වය ඒ තීරණය ගැන හොඳටම කණගාටුවෙලා ඉන්නේ. නිසැක වශයෙන්ම මේක අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කරනවා” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා වාර්තාකරුවන්ට පැවසීය.

සිංහ කොඩිය යොදාගනිමින් දක්වන ලද විරෝධය සම්බන්ධයෙන් කළ විමසීමකදී සුමතිපාල මහතා පිළිතුරු දුන්නේ..

”ඒක බොහෝ වෙලාවට කළමණාකාරීත්වයේ හැගීම කණ්ඩායමේ සෙසු අයට දන්වන්න කළ දෙයක් වෙන්න ඇති”

”ළමයිනේ අධෛර්ය වෙන්න එපා....මේ ලෝක විනාශය නොවෙයිනේ...අපි තවමත් තරග වදිමින් ඉන්නවා. ඒ නිසා රට වෙනුවෙන් කී‍්‍රඩා කරන්න වගේ හැගීමක් තමයි එතන තිබුණේ... ඒක නිකම් සංඛේතයක්” යැයිද සුමතිපාල මහතා පැවසීය.

කෙසේ වෙතත් ජාතික කොඩිය භාවිතා කිරීම විනිසුරු රොඞ්නි ටකර් මහතාට එල්ල කළ විරෝධයක් නොවන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා පැවසීය.

”මා හිතන්නේ නෑ කිසිම විනිසුරුවරයෙක්  ඕනෑකමින් තවත් කෙනෙකුට එරෙහිව තීන්දු දෙනවා කියලා. සෑම විනිසුරුවරයකුගෙන්ම කිසියම් ප‍්‍රමාණයකට වැරදි සිදුවෙනවා...”

”ඒත් මෙතනදි බොහෝ දේ අපට එරෙහිව යාම කණගාටුවට කාරණයක්. එක දිගටම ඒ වගේ දේවල් වෙන්න ගත්තාම කී‍්‍රඩකයන් අධෛර්ය වීම සාමාන්‍යය තත්ත්වයක්” යයිද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප පහතින්.

නිපන්දුවෙන් කඩුල්ල අහිමි වූවාට විරෝධය...

විස්ඩන් ශ්‍රී ලංකා ඇසුරෙනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 June 2016 12:44