May 19, 2024

'සංගාට බැන්නේ අපි නෙවෙයි' - බොදු බල සේනා

පසුගිය දා සිය අවසන් ටෙස්ට් තරගය අවසානයේ පැවැති සමුගැනීමේ මොහොතට සහභාගී වුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා එක් අවස්ථාවක දී සිය බිරිඳ සිප වැළඳගත් අතර එම මොහොතේ ලබාගන්නා ලද ඡායාරූප සමාජ මාධ්‍ය අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් විය.

එම දසුනට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පළ කරන ලද සටහනක් "බොදු ජන පෙරමුණ" නම භාවිත කරමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ එය බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිගේ ප්‍රකාශයක් ලෙසට යි.

එම සටහන පළ කර තිබූයේ මෙසේ ය.

"සංගක්කාර අපි ඔබව අපේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය හොඳ ක්‍රීඩකයෙක් ලෙස දකිනවා. ඔබ වැදගත් මහත්මයෙක්. ඒත් ඔබ මුලු ලෝකෙම අපේ රට දිහා බලන් ඉන්න වෙලාවේ බිරිඳ සමග අනාචාරයේ හැසිරෙමින් සිදුකළේ හරිම තුප්පහි වැඩක්. ජඩ වැඩක්. බලු වැඩක්. භික්ෂූන් වහන්සේලා පවා බලන් ඉන්න බව තේරෙන්නේ නැද්ද? ඔබගේ හොඳ දේට ප්‍රසංශා කරනවා මෙන්ම අසික්කිත වැඩ හෙළා දකින්නත් විසි හතර දාහක් බොදු බල සේනා සාමාජිකයින් සූදානම්ව ඉන්න බව මතක තියා ගන්න."
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි -

අද (26) බොදු බල සේනා සහ බොදු ජන පෙරමුණ නිළ ෆේස්බුක් පිටු මගින් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබූයේ බොදු බල සේනා සංවිධානයේ කිසිවෙකු විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකර ඇති බව ය. එමෙන්ම එය තම සංවිධානය අපහසුතාවට ලක් කිරීමට කිසිවෙකු ගත් උත්සාහයක් ලෙස ද ඔවුන් දක්වා තිබුණි.

එම ප්‍රකාශය මෙසේ ය.

"බොදු බල සේනා සංවිධානයේ කිසිවෙකු විසින් ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගේ සමුගැනීම පිලිබදව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. බොදු බල සේනා සංවිධානය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අසත්‍ය පුවත් මවන පුද්ගලයින් අප හදුනාගන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇත."

එම පළ කිරීම්වල ඡායාරූප පහතින් නරඹන්න.

Rate this item
(2 votes)