April 30, 2024

ඉන්දීය ගුවන් අනතුර: ආරක්ෂක ප්‍රධානී සහ බිරිඳ ඇතුළු 13කගේ සිරුරු හමුවෙයි (VIDEO)

December 08, 2021

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් ප්‍රදේශයේ දී සිදු වූ ගුවන් අනතුරින් එහි ගමන්ගත් ජෙනරල් බිපින් රාවත් මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී තිබෙනවා.

ජෙනරල් බිපින් රාවත් මහතා එරට ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා යි.

ඔහු සැළකෙන්නේ ඉන්දියාවේ ඉහළම හමුදා නිලධාරියා ලෙස යි.

Image

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

රාවත් මහතා ගමන් කරමින් සිට ඇත්තේ වෙලින්ටන්හි ආරක්ෂක විද්‍යාලය වෙතට යි.

ඔහු එහි දේශනයක් පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තාවනවා.

කෙසේ වෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කොට නැහැ.

Image

නිල්ගිරි කඳුකරය

තමිල්නාඩු ප්‍රාන්තයේ, කූනූර් ප්‍රදේශයේ, නිල්ගිරි කඳුවැටියේ පිහිටි කටේරි නමැති තේ වත්තකට මෙම යානය කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රදේශය දැඩි කඳුකර මෙන්ම දුෂ්කර ප්‍රදේශයක් බව සඳහන්.

මේ හේතුවෙන් යානය කඩා වැටුණු ස්ථානයට ලඟා වීමට ද අපහසු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මළ සිරුරු 13ක්

අනතුර සිදු වූ ස්ථානයෙන් මේවන විට මළ සිරුරු 13ක් සොයාගත් බව පැවසෙනවා.

එමෙන්ම බරපතළ ලෙස පිළිස්සුම් තුවාළ ලැබූ එක් පුද්ගලයෙකු ජීවතුන් අතර සිටියදී සොයාගත් බවත්, ඔහු මේවන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වනවා.

මේවන විට ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ යානය තුළ 14 දෙනෙකු ගමන් කර ඇති බව යි.

ඒ අනුව ඉන් 13 දෙනෙකුම මරණයට පත්ව ඇති බව තහවුරු වී තිබෙනවා.

එම ස්ථානයේ සිට මළ සිරුරු රැගෙන ඒම ද බෙහෙවින් අපහසු වූ බව සඳහන්.

Image

මියගිය අය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරල් බිපින් රාවත් මහතාට අමතරව ඔහුගේ බිරිඳවන මධුලිකා රාවත් මහත්මිය ද යානයේ ගමන් කර තිබෙනවා.

ඇය ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාවත් මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද මෙම අනතුර සිදුවන විට යානය තුළ සිට ඇති බව සඳහන්.

අනතුරට හේතුව 

මේ අතර මෙම අනතුරට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එහෙත් ඉන්දීය බලධාරීන් සැක කරන්නේ මීදුම් සහිත කාලගුණය හේතුවෙන් නියමුවන්ට මග නොපෙනීයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට යි.

අද (08) දහවල් 12.20ට පමණ යානය කඩා වැටී ඇති බව පැවසෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේවන විටත් ආරම්භ කොට ඇති බව යි වාර්තා වන්නේ.

Mi-17V5 

මෙලෙස කඩා වැටුණේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්.

එය නිෂ්පාදනය කර ඇත්තේ රුසියාවේ යි.

මෙම වර්ගයේ හෙලිකොප්ටර් යානයකට මගීන් 24 දෙනෙකු රැගෙන යාමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම කුඩා ප්‍රමාණයේ රථ ද මෙම හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා.

Image

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 08 December 2021 19:12