April 27, 2024

නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පාපැදියෙන්ම ගොස් තමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම එරට රජතුමාට දීලා

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය සිය සියලුම රාජ්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊයේ (15) දිනයේ දී නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් සිය කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම සිය සුපුරුදු ප්‍රවාහන මාධ්‍ය වන පාපැදියේ ම ගොස් නෙදර්ලන්ත රජතුමා වන විලියම් ඇලෙක්සැන්ඩර් වෙත භාර දී තිබේ.

එරට දරුවන් සඳහා වූ සුභ සාධන අරමුදලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මාර්ක් රූට් ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලයට චෝදනා එල්ල වීමත් සමඟ මෙලෙස ඉල්ලා අස්වීමට ඔවුන් තීරණ කර තිබුණි.

මෙම මූල්‍ය වංචාව නිසා එරට පවුල් බොහෝමයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ටද මුහුණ දුන් බව සඳහන් වෙයි.

නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් පවසා තිබුණේ අහිංසක මිනිසුන් බොහෝමක් මෙම අපරාධයට මුහුණ දුන් බවත් ඔවුන්ගේ ජීවිතද විනාශ වූ බවත්ය.

ඔහු එහිදී මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙය මෙතැනින් අවසන් විය යුතු බවයි.

මෙම තීරණය ගෙන තිබුණේ කොරෝනා වසංගතය එරට තුළ උච්ච අවස්ථාවකටද පැමිණ තිබෙන විටදී වීමද විශේෂත්වයකි.

මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය තෙක් වසංගතය මැඩපැවැත්වීම සඳහා රජය භාරකාර ධූරයේ රැඳී සිටින නමුත් මෙම මූල්‍ය වංචාවට ඍජුව සම්බන්ධ වූ ආර්ථික අමාත්‍ය එරික් වයිබ්ස් ඔහුගේ සියලු ධූරයන්ගෙන් ඉවත්ව ගොස් තිබේ.

මීට පෙර 2002 වසරේ දීද නෙදර්ලන්ත රජයක් ඉල්ලා අස්වී තිබේ.

Rate this item
(0 votes)