April 26, 2024

මහජන බැංකුව මේ වසරේ මාස 9කින් ශේෂ පත්‍රය රුපියල් බිලියන 350ක් දක්වා වර්ධනය කර ගනී

November 26, 2021

මහජන බැංකුව 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 9ක කාලය සඳහා පිළිවෙලින් වත්කම් සහ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 349.7ක් සහ රුපියල් බිලියන 276.6ක් ලෙස වාර්තා කරන ලද අතර, එය එම කාලය තුළ 15.7%ක සහ 15.1%ක  ඉහළ වර්ධන වාර්තාවකි. ශුද්ධ ණය සහ භාණ්ඩාගාර සුරැකුම්පත් ආයෝජන වර්ධනය පිළිවෙලින් රුපියල් බිලියන 167.4ක් සහ රුපියල් බිලියන 191.4ක් විය. ස්වාධීන පදනමක් මත, 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 21ක කාලය තුළ සමස්ත බැංකු අංශයේ වත්කම් සහ ශුද්ධ ණය වර්ධනයෙන් ආසන්න වශයෙන් 20.0%ක් මහජන බැංකුව සතු වූ අතර, එය බැංකුව විසින් ජාතික ආර්ථිකයට සහ රජයට ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිඹිබු කරයි. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට බැංකුවේ දළ ණයවලින් 50.0%කට ආසන්න ප්‍රමාණයක් රජයට සහ වෙනත් රාජ්‍ය ව්‍යවසායන්ට ලබා දී තිබුණි.

2021 සැප්තැම්බර් 30න් අවසන් වූ ඉහත ප්‍රකාශ කළ මාස 21ක කාලය තුළ සිය ගනුදෙනුකරුවන්ට සහාය වීමේ අරමුණ ඇතිව බැංකුව ණය සැලසුම් රැසක් හඳුන්වාදෙනු ලැබීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහාය ලබාදීම සඳහා රුපියල් බිලියන 60.0කට අධික ණය පහසුකම්, 9000කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සඳහා රුපියල් බිලියන 160.1කට අධික නිවාස ණය, ආරක්ෂක අංශවල විශ්‍රාමික සහ ආබාධිත නිලධාරීන් වෙනුවෙන් රුපියල් බිලියන 6.0 අධික මුදලක් සහ විවිධ ක්ෂේත්‍රයන්හි කලාකරුවන් සඳහා රුපියල් මිලියන 560.0ක කට අධික ණය පහසුකම් ඒ අතර වේ. ඊට අමතරව, ගාල්ලේ පිහිටි ටෙක්නො පාක් පරිශ්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැංකුව රුපියල් මිලියන 750.0ක මුදලක් ද කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන 485.0ක මුදලක් ද සහ ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන්ට රුපියල් මිලියන 260.0ක මුදලක් ද ලබාදෙන ලදී. 

2021 මාස 9ක කාලය තුළ වූ සුවිශේෂී සන්ධිස්ථාන දෙස බැලීමේදී ශුද්ධ පොලී ආදායම 38.9%කින් ඉහළ ගිය අතර, සමස්ත මෙහෙයුම් ආදායම ආසන්න වශයෙන් 30.0%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ස්ථාවර වත්කමක අගය අඩු වීමේ ගාස්තු (Impairment charges) 10.7%කින් ඉහළ නැංවුණු අතර, පුද්ගල නොවන මෙහෙයුම් ගාස්තු කිසිදු ඉහළ යාමකින් තොරව රුපියල් බිලියන 11.6කට ආසන්න අගයකින් පවත්වාගෙන යන ලදී. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට සමස්ත දළ ණයවල කාර්යයක් වශයෙන් බැංකුවේ දළ අදියර 3 ණය පහසුකම් 8.1%කට ආසන්න වූ අතර රජය සතු ව්‍යවසායයන්හි අඩුව (SOE) හැර දළ අක්‍රීය ණය 6.1%ක් විය. ඉහත ප්‍රකාශිත කාලය තුළ රජය වෙත ගෙවිය යුතු සමස්ත බදු සහ ලාභාංශ අගය රුපියල් බිලියන 9.7ක් විය. 8‍5% ක් සහ 12.5%ක් වූ අවමය හා සැසදීමේදී 2021 සැප්තැම්බර් මාසය අවසන් වනවිට බැංකුවේ 1 වැනි ස්ථරය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය පිළිවෙලින් 10.2%ක් සහ 15.5%ක් ලෙස සටහන් විය.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “සුවිශේෂී අභියෝග, වෙනස්කම් සහ අවශ්‍යතා මතු වූ කාලසීමාවක් තුළ ආයතනයේ කාර්යභාරය සහ දායකත්වය සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම රටට අපගේ සේවය අවැසිම මොහොතේ එම සේවය ලබාදීමට අපි නිරන්තරයෙන්ම කැප වී සිටින අතර, රජයේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් කටයුතු කිරීමට ද අපි බැදී සිටිනවා. අපි අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ සාම්ප්‍රදායික ලෙස ඉහළ හෝ පහළ දැක්වෙන ලාභ ප්‍රතිශත වලින් පමණක් නොව වසංගතය හේතුවෙන් දෙදරා යාමට ලක්වූ ආර්ථිකය සවිමත් කිරීමට ලබාදෙන දායකත්වයෙන් සහ යළි එය ගොඩනැංවීමට සහාය ලබාදීමට අප ගන්නා වෑයමෙන්. ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයන්හිදී වුවද අපගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අපගේ මූල්‍යමය වර්ධනයන්ගෙන් මනාව පෙන්නුම් කරනවා. මේ සියල්ලටම ඉහළින්, අපගේ කාර්යභාරය තවමත් අවසන් වී නොමැති බැවින්, මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා රටට අවශ්‍ය සහාය ලබාදෙමින් අඛණ්ඩව අපගේ යුතුකම ඉටු කිරීමට අපි බැදී සිටිනවා.” 

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා මෙසේ සිය අදහස් පළ කළේය. “2021 වසර මෙතෙක් නොවූ විරූ අත්දැකීම් ලැබූ වසරක්. අද දක්වා මේ වසරක කාලය තුළ අපගේ අඛණ්ඩ කැපවීම, අපගේ අඛණ්ඩ ප්‍රවේශය, අපගේ ඩිජිටල් ශක්‍යතාවයන්, අපගේ ගනුදෙනුකාර කේන්ද්‍රීයභාවය සහ  අපගේ ජාතික මෙහෙවර ඉටු කිරීම සඳහා අවසාන වශයෙන් අපට ඇති හැකියාව ගැඹුරින් පරීක්ෂාවට ලක්වූවා. මෑත කාලීනව දක්නට ලැබුණු අපගේ පාලනයෙන් එහා පවතින අභියෝග හමුවේ වුවද නිසි පරිදි නිසි කලට සේවය ලබාදීම අපගේ ශක්තිය, ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම සාමූහික ශක්තිය විදහා දක්වන සාධක බවට පත්ව තිබෙනවා. ඉදිරියේදී අපට මුහුණ දීමට ඇති අභියෝග පිළිබද මනා අවබෝධයක් ඇතිව අපි සුබවාදීව සහ බලාපොරොත්තු සහිතව අනාගතයට මුහුණ දීමට සූදානමින් සිටිනවා.”

මහජන බැංකුව දිවයින පුරා ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741ක් සමගින් ශ්‍රී ලංකාවේ පුළුල්තම ආවරණයට ද හිමිකම් කියයි. වසර 60ක් දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන මහජන බැංකුව 8,000ක් පමණ වූ කාර්ය මණ්ඩලයක දායකත්වය ඇතිව මිලියන 14කට වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට සහ මිලියන 19කට අධික ගිණුම් සබදතා වලට සේවය සපයන අතර, ඒ තුළින් බැංකුව මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ දැවැන්තම මූල්‍ය සේවා සැපයුම්කරු බවට පත් වේ. 1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ ස්ථාපනය කරන ලද මහජන බැංකුව Fitch Ratings Lanka Ltd විසින් පිරිනමනු ලබන ජාතික දිගු කාලීන ශේණිගත කිරීම වන “AA - (lka/ Stable)" සහතිකය ද ලබා ඇත.

සමස්ත ජාතියටම ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබාදීමේ දැක්ම සමගින් මහජන බැංකුව එහි පුරෝගාමිත්වය ගනිමින් 2015 වසරේදී ඩිජිටල්කරණයේ ගමන්මගට පිවිසෙන ලදී. එතැන් පටන් බැංකුව සමග සිදු කරන සෑම ගනුදෙනුවකදීම ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක්,  වේගවත් හා කාර්යක්ෂම බවක් ගෙන දෙමින් විවිධ වූ ඩිජිටල් සේවා රැසක් බැංකුව විසින් හඳුන්වාදෙනු ලැබිණි. තොරතුරු සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීම වන ISO/IEC 27001:2013 තත්ත්ව සහතිකය හිමි ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බැංකුව  මහජන බැංකුව වේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් බැංකු සේවා ගෙන යාමේ පුරෝගාමියා වීම  සම්බන්ධයෙන් මහජන බැංකුව ඉතාමත් ආඩම්බරයට පත්වන අතර, සමස්ත ජාතියම ඩිජිටල් සමාජයක් කරා විකාශය කිරීමේ වෑයම අතිසාර්ථකත්වයට පත්වෙමින් තිබේ. 

Rate this item
(4 votes)