April 26, 2024

ඉන්දුනීසියා භූ චලනය ගැන මෙරට භූ විද්‍යා කාර්යංශයෙන් ප්‍රකාශයක්

December 14, 2021

ශ්‍රී ලංකාවට ඇති බලපෑම

ඉන්දුනීසියාවේ හටගත් ප්‍රබල භූ චලනයෙන් හෝ එම චලනයත් සමග හටගනු ඇතැයි සැක කෙරෙන සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැතිවනු ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.

කෙසේ වෙතත් සුනාමි තත්ත්වයක් හටගත හොත් එහි බලපෑම ඔස්ට්‍රේලියාව දෙසට පවා ව්‍යාප්ත විය හැකි බව යි එම කාර්යංශය සඳහන් කළේ.

මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා යි.

කිලෝමීටර 1000ක් දුරට අනතුරු ඇඟවීම්

මේ අතර ඉන්දුනීසියාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ අද (14) උදෑසන සිදු වූ භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.3ක්  බව යි.

පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එරට නැගෙනහිරදිග ප්‍රදේශය මෙම භූ චලනයේ බලපෑමට ලක්ව ඇති බව යි.

භූ චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර 1000ක පමණ දුරින් පිහිටි ප්‍රදේශ දක්වා සුනාමි බලපෑම සිදුවිය හැකි බවට යි.

එමෙන්ම භූ කම්පනය සිදුවූ ස්ථානය අවට පිහිටි ගොඩබිම් ප්‍රදේශවල නාය යෑමේ අනතුරු පවා සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මුහුදු පතුළ සෙළවෙයි

මේවන විට අනාවරණය වී ඇත්තේ නැගෙනහිර ඉන්දුනීසියානු නගරයක්වන “මාවුමේර්” සිට කිලෝමීටර 100ක් පමණ උතුරින් වූ මුහුදෙහි මෙම භූ කම්පනය හටගෙන ඇති බවට යි.

මුහුදු පතුලෙහි කිලෝමීටර 18.5ක පමණ ගැඹුරින් යුතු ස්ථානයක මෙම චලනය සිදුව ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මේ අතර මෙම භූ කම්පනයේ පසු කම්පනයක් ද සිදුවී තිබෙනවා.

අංශක 5.6ක ප්‍රබලත්වයෙන් යුතු එය සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ “ලරන්ටුකා” නගරය ආශ්‍රිතව යි.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳව තවමත් නිසි තොරතුරු අනාවරණය වී නොමැති බව යි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 14 December 2021 10:42