March 29, 2024

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට අදට වසර 17යි

December 26, 2021

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ලොව රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනයට අදට වසර 17ක්.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න ගැඹුරු මුහුදේ හටගත් ප්‍රබල භු කම්පනයක් හේතුවෙනුයි සුනාමි රළ රටවල් රැසකට කඩා වැදුනේ.

එම කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 9යි දසම බින්දුවක් ලෙසට පසුව අනාවරණ කෙරුණා.

මෙම සුනාමි තත්වය හමුවේ ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් රැසකින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 228,000කට ආසන්නයි.

ශ්‍රී  ලංකාවෙන් වාර්තාවූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35000කට ආසන්නයි.

ඉන් දෙදහසකට ආසන්න පිරිසකට දිවි අහිමි වූයේ ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ ගමන් කරමින් සිටියදීයි.

ඒ අනුව 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙසට ප්‍රකාශයට පත් කර ඇති අතර සුනාමි ඇතුලු ආපදා හමුවේ මියගිය සියලු ජනතාව සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට මිනිත්තු දෙකක කාලයක් නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසටයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර හැටන් නගරයේ සිංහල, දමිල, මුස්ලිම් ජනතාව සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අයට පින් අනුමෝදන් කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරතව සිටියා.

හැටන් නගරයේ පුංචි බෝධිය අසලදි අද (26) දින උදෑසන 9.25ට පහන් දල්වා පින් අනුමෝදනම් කල අතර පෙ.ව 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක කාලයක නිශ්ශබ්දතාවයක නිරත වුණා.

විනාඩි දෙකක නිශ්ශබ්ද කාලය තුල  හැටන් නගරය හරහා ධාවනය කල වාහන විනාඩි දෙකකට නතර කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කළා.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහි කර පින් අනුමෝදන් කිරිමේ අවස්ථාවට හැටන් නගරයේ ව්‍යපාරික ප්‍රජාව ඇතුළු ප්‍රදේශයේ සිංහල, දමිල, මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සහභාගි වුණා.

මේ අතර සුනාමි දළ රළ නිසාවෙන් අපට  අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිස් සිහිකරමින් 17 වන  ජාතික ආරක්ෂණ දින සැමරුම අද (26) දින පෙරවරුවේ හම්බන්තොට නගරයේ  බස් නැවැතුම් පොළ  ඉදිරිපිටදී පැවැත්වුණා.

ජාතික ආරක්ෂක වේලාව සිහිපත් කරමින් පෙරවරු 9.22 සිට විනාඩි දෙකක පමණ කාලයක් නගරයේ සියළුම රථ වාහන ගමනා ගමනය නතර කරමින් නිහඩ තාවය රකිමින් මිය ගිය අය සිහිපත් කිරිම සිදුවුණා. සර්ව ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු මිය ගිය අය වෙනුවෙන් පැන් වඩා පිං අනුමෝදන් කිරීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.

එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් උතුරේ මිය ගිය ජනතාවගේ 17 වන වසර සිහිකරමින් 26 දා උදෑසන උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් අවස්ථා සංවිධානය කොට තිබුණා.

වව්නියාව, මුලතිව්, මන්නාරම සහ යාපනය ප්‍රදේශයන්හි සුනාමි ව්‍යසනය හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත වැඩි වශයෙන් අහිමි වූ අතර එම වැසියන් සිහිකරමින් මිය අයගේ ඥාතීන් විසින් මල්පහන් දැල්වා මිය ගිය අය වෙනුවෙන් සේත් ශාන්ති පැමිණවීම සිදු කළා.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේද සිසුන් පිරිසක් විසින් සුනාමි ව්‍යසනයෙන් මිය ගිය උතුරේ වැසියන් ඇතුලු සියලු ලෝවැසියන් සිහිපත් කරමින් මිය ගිය ජනතාව වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුලදී මල්පහන් දැල්වීම සිදුකරනු ලැබුවා.

(හැටන් - රන්ජිත් රාජපක්ෂ / හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි / වන්නි - රොමේෂ් මධුසංඛ)

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 13:01