April 16, 2024

පැසිෆික් සයුර මැද මහා පිපිරීමක් - සුනාමියකුත් පැමිණෙයි (VIDEO)

පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයක්වන “ටොංගා” ආසන්නයේ සාගරය අභ්‍යන්තරයේ පිහිටි ගිනි කන්දක් විධාරණය වී තිබෙනවා.

මෙය දැවැන්ත පිපිරීමක් වූ බව සඳහන්.

සුනාමියක්

ගිනිකඳු පිපිරීමත් සමග දිවයිනම ආවරණයවන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ටොංගා කාලගුණ විද්‍යා සේවය කටයුතු කළ අතර එම අනතුරු ඇඟවීම් පරිදිම ටොංගා දිවයිනට සුනාමි තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

මේවන විට සුනාමි රළපහර ටොංගා අගනුවරවන නුකුවලෝෆා නගරයට ද ඇතුළු වී තිබෙනවා. අඩි 2.7ක උසින් යුතු රළ පහරක් මෙලෙස අගනුවරට පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සුනාමි තත්වයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

මෙම ගිනිකඳු පිපිරීමත් සමග ෆීජී රාජ්‍යය ද සිය වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ වෙරළාශ්‍රිත කලාපයෙන් ඈත්ව සිටින ලෙසට යි.

එමෙන්ම ගිනිකන්දේ සිට කිලෝමීටර 2000ක් පමණ දුරින් පිහිටි නවසීලන්තයේ උතුරු පෙදෙස් ද සුනාමි අවදානමක පවතින බව එරට කාලගුණ බලධාරීන් සඳහන් කළා.

පිපිරීම

මෙම ගිනිකන්ද ඊයේ (14) දිනයේ ද සුළු පිපිරීමකට ලක් වූ අතර අද (15) සිදුවූ පිපිරීම ඉතා විශාල බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

පිපිරීමෙන් හටගත් අළු සහ දුම පිරුණු වලාකුළ කිලෝමීටර 20ක් පමණ උසකට නැග ඇති අතර එම වලාකුලෙහි එක් කොණක සිට අනෙක් කොණ දක්වා ඇති දිග කිලෝමීටර 700ක් පමණවන බවට යි සඳහන් වන්නේ.

එමෙන්ම පිපිරීමත් සමග ඉන් නිකුත් වූ කම්පන තරංග දකුණු පැසිෆික් සාගර කලාපය පුරා පැතිර ගිය බව පැවසෙනවා.

එම පිපිරීමේ ශබ්දය කෙතරම් දරුණු ද කිවහොත්, ඇතැම් ටොංගා වැසියන් සිතා ඇත්තේ සිය නිවස ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදු වූ බවට යි.

තව ද කිලෝමීටර 2000කටත් වඩා දුරින් පිහිටි නවසීලන්තයට ද මෙම පිපිරුම් ශබ්දය ඇසුණු බව එරට මාධ්‍ය වාර්තා කළා.

මේ අතර මෙම ගිනිකඳු පිපිරුම කාලගුණික චන්ද්‍රිකාවල සටහන්ව ඇති අතර එය වාර්තාගත වන්නේ චන්ද්‍රිකා කැමරාවන්හි මෙතෙක් සටහන් වූ දරුණුතම ගිනිකඳු පිපිරීම ලෙසට යි.

Rate this item
(30 votes)
Last modified on Sunday, 16 January 2022 06:25