April 26, 2024

ගෑස් පිපිරීම් 20ක් - අයෙකුට බරපතලයි

November 30, 2021

ගෙවුණු පැය 24 තුළදීද දිවයින පුරා ගෑස් ආශ්‍රිත සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

මාතර - නාවිමන, මීගොඩ, අතුරුගිරිය, මීරිගම, අම්බලන්ගොඩ, කඩවත, දියතලාව, කොල්ලුපිටිය, කළුතර, කැකිරාව ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී  තිබෙනවා.

මෙවැනි සිදුවීම් පදනම් කරගනිමින් ඇතැම් නිවෙස් හිමියන් ගෑස් සිලින්ඩරය සහ උඳුන නිවසින් පිට ස්ථානයක තබා ඉවුම් පිහුම් කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගෑස් ආශ්‍රිතව සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව සොයාබලන ලෙස ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද ගොනු කළා.

එසේම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද ප්‍රමිති ආයතනය වෙත පැමිණියේ ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් සොයා බැලීමට නියාමනයක අවශ්‍යතාව පවතින බවයි.

කෙසේ වෙතත් ගෑස් සංයුතිය පරීක්ෂා කිරීම සඳහා නියාමන ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මේ අතර ගෘහස්ථ ගෑස් කාන්දුවකින් ඇති වූ විශාල ගින්නකට මැදි වී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳව කඩවත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

අනතුර සිදුවී තිබුණේ ඇය පෑලියගොඩ පොලීසිය ආසන්නයේ පවත්වාගෙන ගිය ආපන ශාලාවේදීයි.

ඇයගේ සැමියා මෙම අනතුර ගැන මෙසේ කියා සිටියා,

"කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ නිසා පෑලියගොඩ පොඩි ආපනශාලාවක් පවත්වාගෙන ගියා. පසුගිය ඔක්තෝබර් 06 වනදා බිරිඳ එකවරම දුරකථනයෙන් කතා කරලා අනේ මිලින්ද මාව ගිනිගත්තා කියලා කිව්වා. විනාඩි 10කින් මම එතනට ගියා. බිරිඳ පිච්චිලා හිටියා. මුහුණෙ පැත්තක් සහ අත පය පිච්චිලා තිබුණා. කඩේ හිටපු අය පැනලා දුවලා ගිහින් තිබුණා. පොඩි දරුවෝ දෙන්නෙක් හිටපු නිසා බිරිඳ ගෑස් ලිපත් නිවාගෙන එතනම පුටුවක වාඩිවෙලා හිටියා."

"බිරිඳ දැනට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මගේ බිරිඳ අවුරුදු 30ක් විතර ගෑස්වලින් ආහාර පිසින කටයුතු කරනවා. කිසිම දවසක මේ වගේ දෙයක් සිදුවෙලා නෑ. ගෑස් ප්‍රමිතිය ගැන මට බරපතළ සැකයක් තියෙනවා. ඒ නිසා මම පෑලියගොඩ පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මම එතනින් නවතින්නේ නෑ. මගේ බිරිඳව යථා තත්ත්වයට ගන්න කවදාවත් බෑ. ඒ වේදනාව මට හැමදාම තියෙයි. මට අවශ්‍ය වෙන්නේ හෙට දවසේ මේ රටේ දුවෙකුට ඒක නොවෙන්න කටයුතු කරන්න."

"මං මේ ගැන මානව හිමිකම් කොමිසමට සහ පාරිභෝගික කටයුතු අධිකාරියටත් පැමිණිලි කළා. ගෑස් එකට ගිනිකූර ගහනවාත් සමගම සම්පූර්ණ ඒ පැත්තම ගිනි අරගෙන තිබෙනවා. මාසෙකට කලින් ගත්ත රෙගියුලේටරයක් තිබුණේ. අලුත්ම බටයක් තිබුණේ. ගෑස් හිඟයත් එක්ක අධික මිලක් ගෙවලා තමයි මම මේ ගෑස් සිලින්ඩරය ගත්තේ." 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 20:15