April 26, 2024

"පක්‍ෂය සජිත්ට වික්කකෙනා මන්තී‍්‍ර ධුරය රාජපක්‍ෂට වික්කා" - විජිත හේරත්

වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් ගැන පුන පුනා කියමින් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය වැපිරූ අය අවසානයේ හකීම්ගේ, රිෂාඞ්ගේ කණ්ඩායමේ සහයෝගයෙන් 20 සංශෝධනය සම්මත කර ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
 
දේශපේ‍්‍රමීත්වය, දේශමාමකත්වය බලය ලබා ගැනීම තෙක් පමණක් බව මෙමගින් වත්මන් රජය තවදුරටත් තහවුරු කර ඇති බවත් සඳහන් කළ විජිත හේරත් මහතා විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ රට වෙනුවෙන් නොව එක් පිරිසකගේ බලය තහවුරු කරගැනීම සඳහා බවත් කියා සිටියේය.
 
ඒ මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද සඳහන් කළේය.
 
පාර්ලිමේන්තුවේ දී 20 වැනි සංශෝධනය ඡුන්ද 156ක් ලබාගෙන සම්මත වුණා. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සනිටුහන් කරන සංශෝධනයක් මේක. පහුගිය කාලය පුරාවට ඒකාධිපති බලය සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් ඇතිවන පීඩනය කොයි වගේද කියලා ජනතාව දැක්කා. 20 වැනි සංශෝධනයේ ඇත්ත හරය යටපත් කර ද්විත්ව පුරවැසිකම හා වෙනත් අතුරු කාරණාවලට වැඩි අවධානයක් යොමුකළා. නමුත් ඒ හරයේ තිබෙන ඇත්ත බරපතළකම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හැ¥ ව්‍යවස්ථාවටත් එහා ගිහිල්ලා අසීමිත ඒකාධිපති බලයක් තනි පුද්ගලයකුට පැවරෙනවා. පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය, අධිකරණය යන සියලූ දේවල් ඒ බලයට යට වෙනවා. කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නිකම්ම රූකඩයන් බවට පත්වෙනවා. ඒ වගේම අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීම හා ඉවත් කිරීම, රජයේ උසස් නිලතල සඳහා පත් කිරීමේ තීරණ ගැනීම මුළුමනින්ම තනි පුද්ගලයෙක් අතට පත් වෙනවා.
 
අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලිකම හරය ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය අතර ලිග්ගල් තුනක් වගේ තුළිතභාවය ආරක්ෂා විය යුතුයි. දැන් ඒ සියල්ල යටපත් වෙලා තනි පුද්ගලයෙකු තීරණ ගැනීමේ භයානක තත්ත්වයක් ඇතිවෙනවා. ආර්ථික, දේශපාලන වගේම වෙනත් පරිපාලන තීන්දු ගැනීම සහ පත් කිරීම, ඉවත් කිරීම, ජනාධිපතිවරයාට පැවරෙනවා.
 
අගමැතිවරයා පවා පත්කිරීමත් ඉවත් කිරීමේත් බලය ජනාධිපතිවරයා යටතට පත්වෙනවා. ව්‍යවස්ථාදායකයේ පණ මුළුමනින්ම නැතිවීම සිද්ධ වෙන අතර අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම නැති වෙනවා. අධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා ගත්තා කියන්නේ ඔහු පසුපස වැඳ  වැටෙන තත්ත්වයකට පත්වෙනවා. එය අධිකරණයේ කොන්ද කැඞීමක්. මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් හෙට දවසේ පෙනී ඉන්නකොට ඔවුන්ට එරෙහිව මේ ඒකාධිපති බලය යොදවන්න පුළුවන් තත්ත්වයක් ඇතිකරගෙන තිබෙනවා.
 
20 සම්මත වුණේ කොහොමද? පහුගිය ඡන්ද කාලයේදී තනි සිංහල බලයක් ගොඩනගන්න 2/3 බලයක් දෙන්න කියලා ජාතිවාදය පාවිච්චි කළා. වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් ගැන පුන පුනා කියමින් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය වැපිරුවා. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට අසමගිය වපුරලා බලය තහවුරු කර ගන්න මැතිවරණ වේදිකාවල පාරම් බෑවා. ඒ වපුරපු ජාතිවාදය පරද්දන්න මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඊට එරෙහිව මුස්ලිම් ජාතිවාදය නැගී සිටියා. මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පිළිබිඹු වුණේ මේ තත්ත්වය. ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ඔක්කොම එකට එකතු වුණා. ජාතිවාදය වපුරපු අය හකීම්ගේ, රිෂාඞ්ගේ කණ්ඩායමේ සහයෝගයෙන් 20 සංශෝධනය 2/3කින් සම්මත කර ගත්තා. හකීම්, රිෂාඞ් ඡන්දය දෙන ආණ්ඩුවක ඉන්නේ නැහැ කියලා පුරාජේරු ගහපු අය ඔවුන්ගේ සහයෝගයෙන් 20 සම්මත කර ගත්තා. ආණ්ඩුවට මන්ත‍්‍රීධුර 145ක් ලැබුණා. සහයෝගය දක්වන කණ්ඩායම් එක්ක 150ක් වුණා. කථානායකවරයාත් මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් ඉවත් වුණාම ඇත්තටම තිබුණේ 148යි. මේ නිසා 2/3 බලය ගන්න බැරුව ආණ්ඩුව පරාජයට පත්විය හැකිව තිබුණා.
 
අපි මැතිවරණ කාලයේදී ජනතාවට කිවුවේ ඒකාධිපති බලයට එරෙහිව සජිත් පිලට දෙන ඡන්දය විකිණෙන බව. ඒ කිවුවා වගේම ටෙලිෆෝනයෙන් ඡන්දය ඉල්ලපු අට දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීපු නිසා රාජපක්ෂලා ගොඩ ගියේ සජිත්ලාගේ රිෂාඞ්ලාගේ සහයෝගයෙන්. මේ පාවාදීම ගැන අපි ජනතාවට කල් ඇතිව කියපු දේ ඒ විදිහටම සිද්ධ වුණා. බලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ජාතිවාදය පැත්තකට දාලා තමන්ගේ බල වුවමනාව ඉෂ්ට කර ගත්තා. ඡන්දය දීපු අයගේ ප‍්‍රාර්ථනාවන්ට දෙපැත්තේම අය පයින් ගැහුවා. මේ තත්ත්වය ඡන්දදායකයන්ට මැනවින් තේරුම් ගන්න හොඳ උදාහරණයක්. හැමදාම ජාතිවාදී උගුලේ පැටලීමෙන් වැළකෙන්න ජනතාව මේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න. ජාතිවාදී
 
ගොහොරුවේ වැටුණොත් රටටත් ජනතාවටත් සිද්ධ වෙන්නේ විනාශය.
 
20හි හරයාත්මක ඒකාධිපති බලය ගැන කරුණු යට ගහලා බොරු දේශපේ‍්‍රමයක් ඉස්සරට ගෙන ද්විත්ව පුරවැසිකම ගැන සාකච්ඡුාව ඉස්සරහට ගත්තා. විජේදාස රාජපක්ෂ මහත්තයා බොරු ලියුම් යවලා, මාධ්‍ය සාකච්ඡුා තියලා කිවුවේ 20ට ඡන්දය දෙනවා කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමක් කියලා. හෘදසාක්ෂියට එකඟ නැති වැඩක් කියලා. ලැජ්ජාවක් තියෙනවා නම්, කොන්දක් තියෙනවා නම් ද්විත්ව පුරවැසිකමට අදාළව ඡන්දය ඉල්ලපු වෙලාවේ ඒකටවත් විරුද්ධ වෙන්න තිබුණා. පාර්ලිමේන්තුවේදී එක පුද්ගලයකුට කන රත් වෙන්න දීපු පහරකින් ද්විත්ව පුරවැසිභාවයට ගෙනා බොරු දේශපේ‍්‍රමී විරෝධය රෙද්ද පල්ලෙන් බේරුණා. ජනාධිපතිතුමා හැඟීම්බර ඉල්ලීමක් කර අලූත් ව්‍යවස්ථාව හදනකොට එය ඉවත් කරන බව කිවුවා කියලා ඡන්දය ලබා දුන්නා. මේගොල්ලන්ට මේවට විරුද්ධ වෙලා පැවැත්මක් නැහැ. මැක්කට බල්ල මැරුණොත් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හැමදාම මැක්කෝ ටික කරන්නේ බල්ලව රකින එක. හෙට දවසේදී ජනාධිපතිතුමා හැඟීම්බරව කිවුවොත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න ඕනෑ කියලා ඒකටත් ඉඩ දෙනවාද? ඔය හැඟීම්බර කතා ජනතාව අන්දන්න කියන කතා මිස ඇත්ත කතාව නෙවෙයි.
 
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කිවුවේ පෙරහැරේ බෙර පැලිලා රෙදි ගැලවිලා යනවා කියලා. 20 සම්මත වුණේ කොහොමද කියලා ඒකෙන් පැහැදිලියි. 20 සම්මත වුණේ කොහොමද කියලා, ජාතිවාදය වපුරපු අය කරගෙන ගිය බොරු දේශපේ‍්‍රමීත්වය හෙළිවුණා. සැබෑ දේශපේ‍්‍රමියා ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් 20 ඡන්දයේ දී ඔවුන්ගේ සැබෑ නිරුවත පෙන්නුවා. 20 වැනි සංශෝධනය පිළිබඳව විවේචන එල්ල කරමින් සිටි එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධව ඡන්දය දෙන්න පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයවත් පත්කර එවා තිබුණේ නැහැ. ඒ සියලූ අවස්ථාවාදීන් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. වරදාන, වරප‍්‍රසාදවලට මන්ත‍්‍රීකම විකුණන අය හෙළිවුණා. එක පැත්තකින් පක්ෂය සජිත්ට වික්කා. අනෙක් පැත්තෙන් මන්ත‍්‍රීකම රාජපක්ෂවරුන්ට වික්කා. මේක බිස්නස් එකක්. මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලංසු තියනවා. ඒ නිසා අද අපේ රටට ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ. ඒ නිසා රටේ ජනතාවට අපි කියන්නේ මේ වෙච්ච සිදුවීම් තේරුම් අරගෙන හෙට දවස රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් වෙනස් කරන්න මැදිහත් වෙමු කියලා. 20න් ලබාගත්තු ඒකාධිපති බලය ඔබේ ජීවත්වීමේ අයිතිය, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය වැනි සියල්ලට එරෙහිව පාවිච්චි වීමට ඉඩ නොදී පෙළගැහෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
 
 ඔබේ අයිතීන් වෙනුවෙන් පෙළගැහෙන්න, දේශපේ‍්‍රමීත්වය වෙනුවෙන් වගේම ජාතික සමගිය වෙනුවෙන් සැබෑ බලවේගයක පෙළගැහෙන්න කියලා ජනතාවට ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

Rate this item
(1 Vote)

Related items