March 29, 2024

ගම්මන්පිලගේ තෙල් ටැංකි බොරුව අතේ පත්තු වෙයි : විජිත හේරත් සියල්ල හෙළි කරයි

1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී අවසන් බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව විජිත හේරත් මන්ත්‍රීවරයා කරුණු සහිතව පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

එසේ රටට බොරු නොකියන ලෙසත් එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසත් ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා තාමත් ත්‍රිකුණාමලයේ එකදු තෙල් ටැංකියක්වත් ඉන්දියාවට පවරා දී නැති බව සඳහන් කරනවා.

විපක්ෂයේ සිටිද්දී තිබූ අවබෝධය

නීතිඥවරයෙක් ලෙසත් විපක්ෂයේ සිටිද්දී මේ තෙල් ටැංකි පිළිබඳ උනන්දුවෙන් කතා කළ මන්ත්‍රීවරයෙක් ලෙසත් ගම්මන්පිල මහතා මෙහි ඇත්ත දන්නා බවයි මන්ත්‍රීවරයා අවදානේ කළේ.

එම ගිවිසුමේ කොතනකවත් එහෙම පවරා දීමක් නැති බවත් එහෙත් සංවර්ධනය කිරීම පිළිබඳව පමණක් සදහනක් තිබෙන බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.

2003 දී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශේෂ විධිවිධාන පනතක් ගෙනැවිත් තාවකාලික කමිටුවක් පත්කළ බවත් යම්කිසි ආයතනයකට හෝ පුද්ගලයකුට තෙල් ටැංකි සංවර්ධනය සඳහා පැවරීමට ඇමතිවරයාට එම කමිටුවෙන් බලය ලබාදුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තෙල් ටැංකි පැවරීම

ඒ හරහා ඉන්දියාවේ IOC සමාගමට බලපත්‍රයක් නිකුත් කළ බවත් IOC සමාගම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කීපයක් ලබා ගත්තේ ඒ අනුව බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එහිද 1 හා 2 යනුවෙන් කොන්දේසි තිබෙන අතර මාස 6ක් ඇතුළත බදු දීමේ ගිවිසුමකට අත්සන් කළ යුතු බවට එහි ඉතා පැහැදිලිව කොන්දේසියක් තිබෙන බවත් හෙළිදරව් කරන මන්ත්‍රීවරයා එවන් බදු ගිවිසුමක් මෙතෙක් අත්සන් කර නැති බවත් අනාවරණය කළා.

එනිසා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල නීත්‍යානුකූල අයිතියක් ඉන්දියාවට හෝ ඉන්දියානු සමාගමකට මෙතෙක් පැවරී නැති බව ඔහු පෙන්වා දෙනවා.

නීතිපතිට ලියූ ලියුම

මේ තෙල් ටැංකි අපට සංවර්ධනය කිරීම සඳහා තම සමාගමට අයිතියක් නැති බවත් අයිතිය පවරා දුන්නොත් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දන්වමින් 2017 මාර්තු 2දා IOC සමාගමේ ශ්‍යාම් බෝරා මහතා නීතිපතිවරයාට ලියුමක් යැවූ බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.

ඒ අනුව IOC සමාගමත් තෙල් ටැංකි තමන්ට අයිතියක් නැති බව පිළිගෙන තිබෙන මුත් අපේ බලශක්ති අමාත්‍යවරයා එය ඉන්දියාවට පවරාදී ඇති බවට පහත් ප්‍රකාශයක් කරන බව ඔහු පෙන්වා දුන්නා.

පසුගිය ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමතිව සිටි අර්ජුන රණතුංග මහතාද තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතියක් ලබාගත් බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී තිබුණා නම් රණතුංග මහතා කැබිනට් අනුමැතියක් ලබා ගන්නේ කුමකටදැයි ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කලා.

එනිසා දැන් සූදානම් වන්නේ ඉන්දියාවට කිසිදු අයිතියක් නැති තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරා දීමටද යැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන මෙන් ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 17:03

Related items