April 30, 2024

රෝසි මැඩම් මහජන මුදල් ලක්ෂ 35 ක් කාබාසිනියා කරයි: මන්ත්‍රී පිල යාපනයේ සවාරියකට දක්කයි

February 23, 2022

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු රාජ්‍ය ඇමතිවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය දැක බලාගැනීමට යාපනයේ පිහිටි ඇයගේ නිවසට ගිය අවස්ථාවට රෝසි සේනානායක මහත්මියද සහභාගි වී සිටියා.

කොළඹ පුරපතිනිය ඇය එම අවස්ථාවට සහභාගී වූයේ කෙසේදැයි බොහෝ දෙනෙකුට පැන නැගුණු ප්‍රශ්නයක් වුණා.

යාපනයෙන් මතුවූ පුරපතිනිය

එම ප්‍රශ්නයට පිළිතුරු මේ වන විට ලැබී අවසන්.

සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ මහජන මුදල් වැය කරමින් ආණ්ඩු - විපක්ෂ මන්ත්‍රීවරු සමඟ යාපනයේ ප්‍රදේශයට ගිය විනෝද චාරිකාවක් අතරතුර මහේෂ්වරන් මහත්මියගේ ආරාධනාවකට අනුව ඇගේ නිවසට ගිය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සේනානායක මහත්මියගේ මෙම යාපනය සංචාරය පිළිබඳව මේ වන විට බොහෝ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

මහජන බදු මුදල්

කොළඹ මහ නගර සභාවේ බදු ගෙවන්නන්ගේ බදු මුදල් රු. ලක්ෂ 35 කට වැඩි මුදලක් වියදම් කරමින් ගිය එම සවාරියට කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් පමණක් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

එම පිරිස හැර කොළඹ නගර සභාවේ ආණ්ඩු - විපක්ෂ මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් එම සවාරියට සහභාගී වී තිබෙනවා.

ඉකුත් 18 ද ආරම්භ වූ එම යාපන සවාරිය දින තුනක සවාරියක්.

ක්‍රිකට් තරඟය

එම සවාරියෙදි ක්‍රිකට් තරඟයකටද කොළඹින් ගිය සංචාරක පිල සහභාගි වී තිබෙනවා.

ඒ යාපනය නගර සභාවේ සහ අනෙකුත් නගර සභා වල අය සමඟ.

කොළඹ නාගරික කොමසාරිස්වරිය වන රෝෂිණී දිසානායක මහත්මියගෙන් මෙම සංචාරය සඳහා අවසර ඉල්ලා ඇත්තේ වලිකාමම් නගර සභාවෙන් ලැබුණු ආරාධනාවකට අනුව පුහුණු වැඩ සටහනකට සහභාගි වීමටයි.

සවාරියට හේතුව

මෙවැනි සවාරියකට හේතු වූ කරුණුද කොළඹ පුරපතිනිය යාපනයේදී මාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබුණා.

"යාපනය පුස්තකාලයට පොත් 400 ක් කොළඹ පුස්තකාලයෙන් ලබා දෙන්න කටයුතු කළා.ඊට අමතරව අපි සුහද ක්‍රීඩාවක යෙදෙන්න.ක්‍රිකට් මැච් එකක් ගහනවා."

මෙසේ මෙම සංචාරය සඳහා රු. ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කර තිබෙන්නේ මුදල් ප්‍රශ්න මත කොළඹ මහ නගර සභාව බැංකු අයිරාවක්ද පවත්වාගෙන යන පදනමක් තුළ බවටයි එම සභාවේ ජ.වි.පෙ මන්ත්‍රීවරු තොරතුරු හෙළිදරව් කොට තිබෙන්නේ.

මෙම සංචාරය මහජන බදු මුදලින් යෑම යුක්ති සහගත නොවන බැවින් එළැඹෙන 28 වැනි දින කොළඹ මහ නගර සභා මන්ත්‍රී රැස්වීමේදී මෙම සවාරියට එරෙහිව යෝජනා සම්මතයක් කොට ඡන්දයක් ඉල්ලීමටයි ජ.වි.පෙ මන්ත්‍රී පිරිස සූදානමින් සිටින්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 February 2022 11:56

Related items