May 02, 2024

"වෘත්තීය සමිති තහනම් කළ යුතුයි" - කම්කරු ඇමතිගේ තීන්දුව නීති පොතට

February 21, 2022

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට වැඩි ප්‍රමුඛතාව ගත්තේ තමා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ " අපිට මේ රජයේ ඉන්න අයිතියක් තියෙනවා. අපි රජයේ පාර්ශව කාරයෝ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්දෙදි බදුල්ලෙන් ඡන්දෙ අරන් දෙන්න ඔක්කොටම වඩා වැඩියෙන් ප්‍රමුඛතාවය ගත්තේ මමයි."

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ පසුගියදා බදුල්ල නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, 

"පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා පොහොට්ටුව තුලදීම ඡන්ද 68000ක් ගන්නකොට මට ඡන්ද 142000ක් හම්බවුණා. ඒ ඡන්දයෙන් තමයි තව දෙතුන් දෙනෙක් අද පාර්ලිමේන්තුවේ කොනේ ඉන්න අය එල්ලිලා උඩට ගියේ. මේ ආණ්ඩුව හදන්න ගල්, වැලි, සිමෙන්ති දාලා ශක්තිමත්ව හදපු ආණ්ඩුවේ පාර්ශවකාරයෝ තමයි අපි. ඒ ආණ්ඩුව හදාගත්තේ පෞද්ගලිකව අපිට යමක් ලබාගන්න නෙවෙයි."

"මම කවදාවත් අහවල් අමාත්‍යංශය දෙන්න කියලා සටන් කරලා නැහැ. දුන්න දෙයින් යමක් කරලා දෙන්න කටයුතු කරනවා. ජනතාව වෙනුවෙන් තමයි අපි මේ වැඩ කටයුතු ටික ඉෂ්ඨ කරන්නේ."

වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබදවද මෙහිදී අදහස් දක්වූවා.

"දුම්රිය වෘත්තීය සමිති කෝච්චිය එලවගෙන ගිහිල්ලා මහරෑ කෝච්චිය නවත්තලා අපි ස්ට්‍රයික් කියලා කෝච්චියෙන් බැහැලා යනවා. ඒක වෘත්තීය සමිති සදාචාරය නෙවෙයි. කම්කරු අමාත්‍යවරයා වශයෙන් මම කියන්නේ එවැනි වෘත්තීය සමිති අපි තහනම් කල යුතුයි. වෘත්තීය සමිතිවල තමන්ගේ සටන් දිනාගැනීමට පූර්ණ අයිතිය ලබාදෙන ගමන්ම ඒ කරන සටන් තුලින් අහිංසක ජනතාව අමාරුවට, අසහනයට පත්වෙන අවස්ථාවන් නතර කරන්න අවශ්‍යයි."

අපි මේ තුලින් අදහස් කරන්නේ නැහැ වෘත්තීය සමිතිවල තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන සටන් නවත්වන්න. ඒ සටන් කිරීමේ ක්‍රමවේදය වඩාත් සදාචාරාත්මක ලෙස කිරීමට පොලඹවන නීති රීති ගෙනෙන්නට ඕනි. වෘත්තීය සමිතීන් ස්ට්‍රයික් එකක් කරනවා නම් අඩුම ගානේ පැය 24ක් වත් කල් දෙන්න ඕනි. එම නිසා එවැනි සදාචාරාත්මක ආකාරයෙන් කටයුතු කරන්න වෘත්තීය සමිති කැපවිය යුතුයි." අමාත්‍යවරයා කියා සිටියා.

Rate this item
(3 votes)
Last modified on Monday, 21 February 2022 11:36

Related items