April 26, 2024

සජිත් - පාඨලී ගැටුම ඇවිලෙයි: එජාපයේ ඉරණම සජබටත් ලැබෙන ලකුණූ!

February 06, 2022

සජබ ඇතුළේ අර්බුධයක්

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු, සමගි ජන බලවේගය ද දෙකඩ වීමේ සූදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මෙයට හේතු වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය බව යි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයත්, 43 වැනි සේනාංකයත් අතර මේවන විට අර්බුධකාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා.

සජිත් - පාඨලී ගැටුම

රණවක මහතා පිළිබඳව සමගි ජන බලවේග පාර්ශවයෙහි විවිධ ගැටළු පසුගිය කාලය පුරාම වාර්තා වූවා.

මෙවන් පසුබිමක සමගි ජන බලවේග නායකත්ව මණ්ඩල සාකච්ඡාවල දී සජිත් ප්‍රේමදාස මහතා 43 වැනි සේනාංකය පිළිබඳව ඍජුව කතා කොට ඇති බව සඳහන්.

ඔහු එම සාකච්ඡාවල දී පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලා ඇත්තේ 43 වැනි සේනාංකය විසුරුවා හැර පූර්ණකාලීනව සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන කටයුතුවල නිරතවන ලෙසට යි.

කෙසේ වෙතත් ප්‍රේමදාස මහතාගේ එම ඉල්ලීම්වලට රණවක මහතා මේවන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෙනම ගමනක සැළසුමක්

මේ අතර 43 වැනි සේනාංකයේ පළමු ජාතික සමුළුව ද පසුගිය දා පැවැත්වුණා.

එම සමුළුවට සහභාගී නොවන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නියෝග කර ඇති අතර පාර්ශව දෙක අතර අර්බුධකාරී වාතාවරණය වර්ධනය වීමට එය ද බලපා ඇති බව සඳහන්.

මෙලෙස සමගි ජන බලවේගය උණුසුම් වෙද්දී 43 වැනි සේනාංකය වෙනම ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කොට ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඔවුන් ඉදිරියේ දී බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ද සූදානම්වන බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ 43 වැනි සේනාංකය එවැන්නක් සැළසුම් කරන්නේ ඉදිරියේ දී සමගි ජන බලවේගයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස දේශපාලනයේ නිරත වීමේ අරමුණ ඇතිව බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බව යි.

ප්‍රේමදාසට අකමැති පිරිසක් බිහිවෙයි

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කලකිරී ඇති පිරිසක් ද සමගි ජන බලවේගය තුළ සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය කාලය තුළ සමගි ජන බලවේග මන්ත්‍රීවරු සිය පක්ෂ නායකත්වය විවේචනය කරන අයුරු ද දක්නට ලැබුණේ එවන් පසුබිමක යි.

එමෙන්ම ප්‍රේමදාස මහතා කෙරෙහි කලකිරී සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකය හා එකතු වීමට අවධානය යොමු කොට ඇති බව ද වාර්තා වෙනවා.

එම පිරිස මේවන විටත් රණවක මහතා සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව යි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත වැඩිදුරටත් වාර්තා වූයේ.

Rate this item
(5 votes)
Last modified on Sunday, 06 February 2022 11:57