May 01, 2024

ඉදිරි සති දෙක අවදානම්! පාසල් ළමුන් ගැනත් අනාවරණයක්!

ඇත්ත ඔමික්‍රෝන් ගණන

මෙරට සිටින සැබෑ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන, හඳුණාගත් ගණනට වඩා බොහෝ සෙයින් අධික විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසන්නේ අලුතින් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුණාගත් නමුත් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අලුතින් වාර්තාවනු ඇති බව යි.

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඔමික්‍රෝන් ප්‍රභේදයට ඇති බවත්, ඩෙල්ටා ආසාදිතයින් පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට වඩා ඔමික්‍රෝන් ආසාදිතයින් පෙන්වන රෝග ලක්ෂණ අඩු බවත් ඔහු පෙන්වා දෙනවා.

රෝගීන් හදිසියේ වැඩිවෙයි

මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ හදිසි වැඩිවීමක් පෙන්නුම් කරන බව කොවිඩ් ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනාවරණය කරනවා.

ඇය පෙන්වා දෙන්නේ මෙම සතියෙහි රෝගීන් 1000කට අධික සංඛ්‍යාවක වැඩි වීමක් පෙන්වන බව යි.

ඔමික්‍රෝන් ප්‍රභේදය විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් පමණක් නොව ඔවුන්ගේ ආශ්‍රිතයින් හරහා ද සමාජගත වෙමින් පවතින බවට ඉඟි පවතින බව ගල්හේන මහත්මිය වැඩිදුරටත් පවසනවා.

මෙම තත්ත්වය හමුවේ මහජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපැදීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඇය අවධාරණය කරනවා.

ඉදිරි සති දෙක අවදානම්

මෙවන් පසුබිමක වෛද්‍යවරිය අනතුරු අඟවන්නේ ඉදිරි කාලය තුළ යළි දරුණු කොවිඩ් රැල්ලක් හටගැනීමේ අවදානමක් ඇති බව යි.

ඉදිරි සති දෙක තුළ එවන් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බව ඇය අනාවැකි පළ කරනවා.

එය ඔමික්‍රෝන් හෝ ඩෙල්ටා රැල්ලක් ලෙස පැතිර යා හැකි බවට පෙනී යන බව යි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාසල් ළමුන් ගැනත් අනාවරණයක්

එමෙන්ම ඇය පාසල් ළමුන් සම්බන්ධ විශේෂ අනාවරණයක් ද සිදු කළා.

පාසල් ළමුන් හරහා කොවිඩ් වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්තවන බව යි වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කරන්නේ.

ඇය පෙන්වා දුන්නේ පාසල් ළමුන් හරහා කොවිඩ් රෝගය ඔවුන්ගේ පවුල් වෙතත් සමාජයටත් පැමිණෙන බව පැහැදිළිව පෙනෙන කරුණක් බව යි.

එන්නත් ගත්ත අයට පණිවිඩයක්

එමෙන්ම එන්නත් ලබා ගැනීම තුළින් කොවිඩ් රෝගය අඩු සංකූලතා ඇතිව සුව කරගැනීමට හැකි බව සමාජයේ බොහෝ දෙනා මේවන විට දන්නා කරුණක් බව ඇය වැඩිදුරටත් පවසනවා.

මේ හේතුවෙන් කොවිඩ් ආසාදිත බවට දන්නා බොහෝ රෝගීන් එන්නත පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් කිසිදු වෛද්‍ය උපදෙසක් ලබා නොගනිමින් නිවෙස්වලට වී සිටීමේ ප්‍රවණතාවක් ඇති බව ද ඇය පෙන්වා දෙනවා.

එසේ නොකරන ලෙසටත්, මාත්‍රා 03ම ලබා ගෙන තිබුණ ද කොවිඩ් රෝගලක්ෂණ ඇත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් කරා යොමුවන ලෙසටත් ගල්හේන මහත්මිය සමාජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 596,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සමස්ත කොවිඩ් මරණ ගණන මේවන විට දැක්වෙන්නේ 15,211ක් ලෙසින්.

කියවන්න: කොවිඩ්වලින් මේක ඉවර නෑ! ඉදිරියේ තවත් වසංගත රැසක්!

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 18:22