May 03, 2024

ගුවන්තොටේ යකා නැටූ විදේශිකයා ගැන ඇත්ත හෙළි වෙයි (PHOTOS)

යකා නැටූ විදේශිකයාගේ අනන්‍යතාවය එළියට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ප්‍රංශය වෙත පළා යෑමට තැත් කර, පසුව අද (10) අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට කටුනායක ගුවන් තොටුපළෙන් පළා යාමට තැත් කළ විදේශිකයාගේ අනන්‍යතාවය පිළිබඳව කරුණු කීපයක් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා. 

ඒ අනුව මෙම පුද්ගලයා 35 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු බවත් ඔහු 2019 වසරේ දී මාතර, වැලිගම ප්‍රදේශයේ ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා මුදල් ලබා ගැනීම පිළිබඳව චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බවත්, මෙම පුද්ගලයා පිළිබඳව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ වන විට මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ අතර, එහිදී මේ මස එනම් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

පළමු සැකය

මොහු හැඩි දැඩි විදේශිකයෙකු බවත් අද (10) අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යාම පිණිස ඉටිහාඩ් ගුවන් සේවයේ EY-265 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවත් පැවසෙනවා.

අද (10) අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව, විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටයි.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බව ඒෂියන් මිරර් ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

ගුවන්තොටේ ක්‍රියාදාමයක්

පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව යන්නට වූ බවත් මේ සදහා මොහුට ගත වූයේ ඉතා සුළු කාලයක් පමණක් බවත් අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහි දී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බලයලත් නිලධාරීවරයා, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්ව දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ වන විටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොහු පිටුපස ලුහුබදිමින් හඹා යමින් සිට ඇති අතර මෙම විදේශිකයා එකවරම අසළ ඇති තාප්පයකට නැග එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග ඒ මත සැඟවීමට යි උත්සහ දරා ඇත්තේ.

රට තුළට පනින්න ගත් උත්සාහය වැළකෙයි

කෙසේ වෙතත් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මේ බව දැක ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් අදාළ තැනැත්තා සැඟවී සිටි වහළ වෙත ලඟා වී ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී විදේශිකයා එම වහළය මතින් දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට උත්සහ කර ඇති අතර මෙම ක්‍රියාවලිය පැයක පමණ කාලයක් තිස්සේ සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අවසානයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් අදාළ පුද්ගලයා වට කොට තිබෙනවා.

ගුවන් තොටුපළින් පිටතට යාමට ඇති අවකාශ සියල්ලේම ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබු අතර අද අලුයම 02.15ට පමණ අනන්‍යතාව තහවුරු නොකළ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

බෙල්ලේ ටැටූ ගැනත් සැකයක්

මේ අතර මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබු අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව මෙම පුද්ගලයා විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු බවට සැකයක් පහළ වී තිබෙනවා.

එමෙන්ම මොහු විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ද ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පළ කරනවා.

ඔහු තාප්පය දිව ගිය ආකාරය, වහළයෙන් වහළයට පැන ගිය ආකාරය සහ ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව ගිය ආකාරය ආදිය සළකා බලන විට මෙම පුද්ගලයා එවැනි දෑ පිළිබඳ මනා පුහුණුවක් ලද පුද්ගලයෙකු බවට යි ආරක්ෂක අංශ වැඩිදුරටත් සැක පළ කරන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වන විට මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බව සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 21:45