May 12, 2024

අද කාලගුණය : වැස්ස වැඩි වෙයි

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බවත් එබැවින් 04N-10N සහ 82E-90E මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින ප්‍රජාවෙන් මේ පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටින බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 00:08