May 03, 2024

විදේශිකයෙකු නිසා කටුනායක ගුවන්තොටේ භීතියක්! කමාන්ඩෝ බලකායත් කැඳවයි! (PHOTOS)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ අනන්‍යතාව තහවුරු නොවූ විදේශිකයෙකු, කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට, එයින් මිදී පැන දුවන්නට උත්සාහ කර තිබෙනවා.

මෙම තැනැත්තා කුමන ජාතිකයෙකු ද යන්න හෝ මෙතෙක් අනාවරණය වී නැහැ.

අද (10) අලුයම් කාලයේ මෙම විදේශිකයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපොළ භූමියෙන් පිට වීමට උත්සහ දරා ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව යි වාර්තා වන්නේ.

පළමු සැකය

මොහු හැඩි දැඩි විදේශිකයෙකු බවත් අද (10) අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යාම පිණිස ඉටිහාඩ් ගුවන් සේවයේ EY-265 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවත් පැවසෙනවා.

අද (10) අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව, විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටයි.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බව ඒෂියන් මිරර් ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

ගුවන්තොටේ ක්‍රියාදාමයක්

පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව යන්නට වූ බවත් මේ සදහා මොහුට ගත වූයේ ඉතා සුළු කාලයක් පමණක් බවත් අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහි දී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බලයලත් නිලධාරීවරයා, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්ව දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ වන විටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොහු පිටුපස ලුහුබදිමින් හඹා යමින් සිට ඇති අතර මෙම විදේශිකයා එකවරම අසළ ඇති තාප්පයකට නැග එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග ඒ මත සැඟවීමට යි උත්සහ දරා ඇත්තේ.

රට තුළට පනින්න ගත් උත්සාහය වැළකෙයි

කෙසේ වෙතත් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මේ බව දැක ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් අදාළ තැනැත්තා සැඟවී සිටි වහළ වෙත ලඟා වී ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී විදේශිකයා එම වහළය මතින් දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට උත්සහ කර ඇති අතර මෙම ක්‍රියාවලිය පැයක පමණ කාලයක් තිස්සේ සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අවසානයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් අදාළ පුද්ගලයා වට කොට තිබෙනවා.

ගුවන් තොටුපළින් පිටතට යාමට ඇති අවකාශ සියල්ලේම ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබු අතර අද අලුයම 02.15ට පමණ අනන්‍යතාව තහවුරු නොකළ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

බෙල්ලේ ටැටූ ගැනත් සැකයක්

මේ අතර මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබු අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව මෙම පුද්ගලයා විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු බවට සැකයක් පහළ වී තිබෙනවා.

එමෙන්ම මොහු විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ද ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පළ කරනවා.

ඔහු තාප්පය දිව ගිය ආකාරය, වහළයෙන් වහළයට පැන ගිය ආකාරය සහ ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව ගිය ආකාරය ආදිය සළකා බලන විට මෙම පුද්ගලයා එවැනි දෑ පිළිබඳ මනා පුහුණුවක් ලද පුද්ගලයෙකු බවට යි ආරක්ෂක අංශ වැඩිදුරටත් සැක පළ කරන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වන විට මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බව සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 21:29