April 27, 2024

එදා මහින්දගේ ගෝලයා වූ අද සජිත්ගේ උපදේශකට හර්ෂ හා එරාන්ගෙන් ෂොට් එකක්

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේග මතභේදාත්මක කළමනාකරණ කමිටු රැස්වීමේදී පක්ෂ නායකයාට සමීප පුද්ගලයෙකුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වූ බව දැනගන්නට තිබෙනවා.

ඒ දයාන් ජයතිලක මහතාට එරෙහිවයි..

පක්ෂ නායකගේ උපදේශක

ඔහු මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකවරයෙක් ලෙසයි කටයුතු කරන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දයාන් ජයතිලක මහතාගේ වත්මන් භූමිකාව එම රැස්වීමේදී දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ජයතිලක මහතා අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බවට චෝදනා එල්ල කළ එම මන්ත්‍රී දෙපළ එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායකයාගෙන් ඉල්ලා තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

උපදේශක භූමිකාව

දයාන් ජයතිලක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකවරයෙකු ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනිකුත් සංවිධාන අමතා විවිධ දේශන අමතන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වන ජයතිලක මහතා මතභේදාත්මක චරිතයක්.

ඔහු විවිධ දේශපාලන කඳවුරු වල කාලෙන් කාලෙට කටයුතු කළ තැනැත්තෙක්.

දේශපාලන ඉතිහාසය

උතුරු නැගෙනහිර මංගල පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ඊට පත්වූයේ වර්ධරාජා පෙරුමාල් නියෝජනය කළ පක්ෂයෙන්.

ඉන් පසුව මහින්ද රාජපක්ෂ කඳවුරට ඉතා සමීපව කටයුතු කළ ඔහුගේ නම 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවටද ඇතුළත් කර තිබුණා.

එහෙත් ඔහුව පාර්ලිමේන්තුවට පත් කිරීම 2015 ජනපතිවරණයෙන් පසු එම සන්ධානයේ නායකත්වයට පත් එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 15:08