May 09, 2024

මනුෂ්‍යත්වයට නිගා කරමින් පියා දරුවන්ට දුන් අමානුෂික දඬුවම

දරා ගැනීමට බැරි වේදනාවකින් හඬන මේ පුංචි අයියා, නගෝ දෙන්නාගේ කඳුළු කතාව අපිට ඇහෙන්නේ හැටන් කුඩාගම ප්‍රදේශයෙන්.

අවුරුදු 6ක් වයසැති දියණියත් 7 හැවිරිදි පුතාත් සම්පුර්ණයෙන්ම නිරුවත් කර රෙදි පටි වලින් ගසක ගැට ගසා දුන් මේ දඬුවම කෙතරම් නම් අමානුශිකද?

ගසට තදින් බැඳ තිබීම නිසා දැනෙන වේදනාව තවත් දෙගුණ වී ඇත්තේ මුහුණට මිරිස් කුඩු ගසා ඇති දැවිල්ල හේතුවෙන්.

මෙම නොදරුවන්ට මේ අමානුෂික දඬුවම ලබා දී ඇත්තේ අන් කිසිවෙකුත් නොව ඒ ඔවුන්ගේම තාත්තායි.

නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සුළු සේවකයෙකු වන ඔහු දඬුවමට හේතුව සඳහන් කලේ මෙලෙසින්,

"මම වැඩ ඉවර වෙලා මෙතනින් බැස්සා. එතකොට කෙනෙක් මෙතනට ඇවිත් කිව්වා ඔයාගේ ළමයා දර හොරකම් කළා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා මිරිස් කුඩු ටිකක් දාලා කිව්වා මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියලා. ගැහුවේ නැහැ මිරිස් කුඩු ගැහුවා. හොරමක් කරපු නිසා මිරිස්‌ කුඩු ගෑවා. වැරදි ආයේ කරන්න එපා කියලා තමයි මිරිස්‌ කුඩු ගෑවේ. අපි ඉතින් කුණුනේ අතුගාන්නේ. අපි කොහොමත් බොනවා."

දඬුවම සාධාරණිකරණය කරන්න ඔහු උත්සාහ කලත් නිතර බීමතින් එන සැමියාගේ ක්‍රියා කලාපය ගැන දරුවන්ගේ මව පවසන්නේ මෙවැන්නක්,

"පෙර දිනයේ මට රුපියල් 2,000ක් ලබා දී එය වියදම් කළොත් මරණවා කිව්වා. මම ඒක වියදම් කළේ නෑ. සිද්ධිය වු දිනයේ පල්ලියට දීම සඳහා යැයි පවසමින් රුපියල් 200ක මුදලක් ලබාදුන්නා. මම ඒක දරුවන් දෙදෙනා අතට දුන්නා කෑමට යමක් ගේන්න කියලා. දරුවන් කෑම අරන් එනකමන් පුතා වෙළෙඳසැළෙන් දර මිටියකුත් අරන් ඇවිත් සල්ලි නොදී. ඒක තමයි පහර දුන්නේ." 

ප්‍රදේශවාසීන් පවසන්නේ,

"මෙම පුද්ගලයා නිරන්තරයෙන් මෙවන් පහරදීම් කරනවා. දරුවන්ට හා බිරිඳට පහර දෙනවා. එක් අවස්ථාවක දියණියකට පහර දී අසල ලිඳකට දමා තිබිය දී අලුයම දෙකට පමණ බේර ගත්තා."

"මේ දරුවන් බොහෝ අවස්ථාවල කුස ගින්නේ ඉන්නේ. පාසල් යන වයසේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්වත් නෑ. මේ දරුවන්ට කවුරු හරි උදව් කරනවා නම් පිනක්."

"මේ පුද්ගලයා මෙහෙම හැසිරෙන බොහෝ අවස්ථාවල අසල්වාසීන් පොලීසියට කියනවා. පොලීසිය ඇවිත් ඔහුව රැගෙන ගිහින් පසු දින සමාදාන කර නැවත එවනවා. ඊට පස්සේ ආයෙත් පහරදෙනවා."

දරුවන්ගේ සැබෑ ආරක්ෂකයන් වන මව්පියන් ළඟ දරුවන් මෙතරම් අනාරක්ෂිත නම් එය කෙතරම් ඛේදනීය තත්වයක්ද?

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 07:01