April 27, 2024

වන්දි ගන්න මේ දේවල් තියෙන්න ඕනේ - මහින්දානන්දගෙන් ගොවීන්ට නියෝගයක්

කෘෂි හානි සම්බන්ධයෙන් වන්දි ලබා දෙන්නේ රජය ලබා දුන් පොහොර වර්ග හතර භාවිත කළ පිරිස් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැක නව වසර සඳහා ආශිර්වාද ලබා ගත් ඒ මහතා අද (02) අස්ගිරි විහාරයේ දී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.                                                       

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

"අද බොහෝ අය වගා හානිය ගැන කියමින් කෑ ගහනවා. වගා හානි වූ අයට වන්දි ගෙවන්න අපි විධිමත් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. වගා හානිය වූ බව පවසන සෑම ගොවියකුටම අපි ඉල්ලුම් පත්‍රයක් ලබා දී තිබෙනවා. එමඟින් අපි සොයා බලන්නේ මේ ගොවි මහත්වරු අපි රජයෙන් ලබා දුන් පොහොර භාවිතා කරලා තියෙනවාද කියන එක ගැනයි. අපි රජයක් වශයෙන් ප්‍රථමයෙන් කාබනික ඝන පොහොර, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේම නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දී තිබෙනවා. යම් ගොවියෙක් වන්දි ඉල්ලනවා නම් මේ පොහොර වර්ග හතරම භාවිතා කොට තිබිය යුතුයි. ඒ භාවිතා කිරීමේ දී ගොවියාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ යම් අඩුවක් වුනොත් අපි ඒකෙ වගකීම අරගෙන අදාළ වන්දිය ගෙවනවා. එහෙම නැතුව ඇතැම් දේශපාලන පක්ෂ වලට ඕන විදියට පාරට බැහැලා දියව් කියලා කෑ ගැහුවට වන්දි ගෙවන්න බෑ. රජයෙන් ලබා දුන් පොහොර භාවිතා නොකළ අයට අපි කිසිසේත්ම වන්දි දෙන්නේ නෑ."

"අද සමහර අය කියනවා අපිට ඩොලර් නැති හින්දා රසායනික පොහොර ගෙනාපු එක නැවැත්තුවා කියලා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අපි මේ තීන්දුව ගන්න කොට අපිට ඩොලර් ප්‍රශ්නයක් තිබුණෙ නෑ. මේ රටේ මාධ්‍ය ඇතුළු වගකිව යුතු ආයතන බහුතරයක් රසායනික පොහොර සමාගම් වෙනුවෙන් පෙනී සිටියා මිසක් මේ රටට, ජාතියට වෙන හානිය ගැන කතා කළේ නෑ. අපේ ජනාධිපතිතුමා ඉතාමත් සංවේදී නායකයෙක්. ගොවි ජනතාව පාරට බැහැලා රසායනික පොහොර ඉල්ලා කෑ ගහනකොට එතුමා රසායනික පොහොර ගෙන්වන්න අවසර දුන්නා. ඉතින් දැන් රසායනික පොහොර අවශ්‍ය අයට ගැටළුවකින් තොරව රසායනික පොහොර භාවිතා කරන්න පුළුවන්. දැන් පලිබෝධ නාශක, දිලීර නාශක හා රසායනික පොහොර සියල්ල විවෘත වෙළෙඳපොළේ තිබෙනවා. ඕනෑම ගොවියකුට පුළුවන් ඒවා මිලදී අරගෙන වගා කරන්න. රජයේ පොහොර සහනාධාරය අපි ලබා දෙන්නේ කාබනික කෘෂිකර්මාන්තය කරන අයට විතරයි. වන්දි දෙන්නෙත් කාබනික පොහොර භාවිතා කොට නිෂ්පාදන අඩු වූ අයට පමණයි."                                                                       

(මහනුවර  කේ.එල්. සුරවීර)                         

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 21:49

Related items