April 27, 2024

ගොවින් ඇමති මහින්දානන්දට අමුතු තෑග්ගක් දෙයි

December 23, 2021

මතභේදයට තුඩු  දී ඇති රජය මඟින් ලබා දෙන දියර පොහොර වල පවතින දැඩි දුර්ගන්ධයත් සමඟ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවින් එම පොහොර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම නිසා ගොවින් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උදුගොඩ ගම්මානයේ මෙවර මහ කන්නයේ ගොයම් සිටුවා මාසයක කාලයක් ගත වී තිබුණ ද මෙතෙක් කිසිදු පොහොරක් නොලැබුණු බවට ගොවින් මැසිවිලි නගනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තම වගාවන් විනාශ වෙමින් පවතින බවයි.

"අවුරුදු 40ක් විතර වෙනවා දැන් කුඹුරු කොටන්න අරගෙන. කොයි කාලේවත් නැති වුණේ නැහැ පොහොර. මේ ආණ්ඩුව තමයි මෙහෙම කෙරුවේ. හැකි ඉක්මනින් අපිට පොහොර ටිකක් ලැබෙනවා නම් හොඳයි. නැත්තම් මේවට මොනා හරි ගෙවන්න වෙනවා උන්දලාට. නැත්තම් කුඹුරු කොටන එක අත්‍ හරින්න තමයි වෙන්නේ."

"සම්පුර්ණයෙන්ම කුඹුරු යායම විනාශ වෙලා තියෙන්නේ. මේ කන්නට අපි කිසිම විශ්වාසයක් තියන්නේ නැහැ කිසිම දෙයක් ලැබෙයි කියලා මේ කුඹුරු වලින්. විශාල මුදලක් වියදම් කළා. මේ ලංකාවේ කෘෂි කර්මාන්තයේ කරපු ලොකුම වැරැද්ද මේ රජය කලේ. ගොවියාට එක පාරටම මේ බෙල්ල ගහලා දැම්මා වගේ වැඩක් තමයි මේ කලේ."

රජය මඟින් තම වගාවට පොහොර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ලංකාපුර ගොවින් මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කලද මෙතෙක් කිසිදු පොහොරක් තම වගාවට නොලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා.

"ගොයම් හැදුනේ නැත්තම් කොම්පෝස්ට් දාලා ඒකා කියනවා වන්දි ගෙවනවා කියලා. කොහෙද ඕකා වන්දි ගෙවන්නේ? පොහොර ටික දීපියව්. අපිට වන්දිත් එපා මුකුත් එපා.මේවා පඩිසන් දෙනවා ඕකට. උන්ට අපි ජන්දය දුන්නේ මේවා කන්නද?"

"දවස් 25 ගොයම්. දවස් 15 යද්දී මේවට බන්ඩි පොහොර ගහන්න ඕනේ. බන්ඩි පොහොර තියා බලන්නකොට මේකේ හැටි. දවස් 7ගොයම් ගහක් වගේ."

මැදිරිගිය යාය 8 ප්‍රදේශයේ ගොඩබෝග වගා කරන ගොවි මහතෙකු සඳහා කෘෂිකර්ම බලධාරීන් විසින් ලබා දුන් දියර පොහොර යෙදීම නිසා සරුවට තිබුණු වගාව විනාශ වූ බව ඔහු පවසනවා.

"ළඟ තියාගෙන ඉන්න බැහැ මම ඈතින් අල්ලාගෙන ඉන්නේ. ඒ තරම් ගදයි."

පොලොන්නරුව ලංකාපුර ගොවි සංවිධානයේ ගොවින් වෙත බෙදා දීම සඳහා රජය මඟින් ලබා දුන් රතු කුඩු පොහොර ලබා ගැනීමට කිසිදු ගොවි මහතෙකු නොපැමිණී බව ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා.

"මේ පොහොර ටික කෘෂිකර්මයෙන් අරගෙන ආවේ. මේක ගේන්නත් 21,000ක් විතර වියදම් වුණා අපේ ගොවියන්ට. එහෙම ගෙනල්ලත් මේ ගොවියෝ කවුරුවත් එන්නේ නැහැ මේ පොහොර ගෙනියන්න. මේ රතු කුඩු වැඩක් නැහැ කියනවා. මේවා අරන් යන්නේ නැහැ මිනිස්සු. විසි කරලා අපිට බැනලා යනවා."

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ඩී. 3 අඹන්ගඟ ගොවි සංවිධාන කාර්යාලයට ප්‍රදේශයේ ගොවීන් හාරසිය පනස් දෙනෙකුට බෙදා දීමට රජය මඟින් ලබා දුන් දියර පොහොර හා රතු කුඩු පොහොර ලැබී තිබෙනවා.

නමුත් දියර පොහොර වලින් නිකුත් වන දැඩි දුර්ගන්ධය හේතුවෙන් ගොවින් එම දියර පොහොර ප්‍රතික්ෂේප කළේ මෙලෙසින්.

"ජරාවනේ. මස් කටු ද කොහෙද දාලා. කුණු වෙච්චා මේ. මේවා කුඹුරු වලට දාන්න බැහැ අපිට. ඕවා පුපුරනවා බෝම්බ වගේ. ගෙනියන්නත් බයයි. නහය තියාගෙන ඉන්නවත් බැහැ. කෘෂිකර්ම ඇමතිට තමයි දෙන්න ඕනේ. එයාලානේ නිර්දේශ කරලා එවන්නේ මෙහෙට. මට නම් මෙතැන ඉන්නත් බැහැ. මට පොහොරත් එපා. මම යනවා. "

"මේවා ගෙනිහින් පොඩි එවුන් තියා ගන්නේ කොහොමද ගෙවල්වල. ගඳ ගහනවා මේ ජරාව. තනිකර ලැට් එකක් ගෙනත් දීලා තියෙන්නේ. හෙණ 7ම ගහපල්ලා මුන්ට. ඔන්න ජන්දය දීලා ගෙන්න ගත්ත දේ."

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 15:59

Related items