May 02, 2024

බූස්ටර් එන්නතට ජනතාව පසුබසී! කොරෝනා මර්දනය අවුලක් වෙලා

December 28, 2021

මෙරට තුළ ඇතැම් ජනයා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට නැඹුරු නොවීමේ ප්‍රතිශතයක් යම් තරමකින් නිර්මාණය වී ඇත්තේ, සමාජය තුළ මෙන්ම විවිධ මාධ්‍ය මගින් ජනතාව වෙත අවබෝධ කරවන ඇතැම් තත්ත්වයන් මත බව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ හේතුවෙන් දෙවන මාත්‍රාව ලබාගත් ඇතැම් පිරිස් ද මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ කිසියම් පසුබැසීමක් දැකිය හැකි අතර, එම තත්ත්වය අවම කිරීමට සහ කොවිඩ් තුරන් කිරීම සඳහා අනිවාර්යයෙන්ම බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගෝලීය වසංගත තත්ත්වයක් ව පවතින කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මේ වනවිට බොහෝ රටවල් පවා තුන්වැනි මාත්‍රාවෙන් පසුව සිව්වැනි මාත්‍රාවකටත් අවධානය යොමු කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 3.3ක ප්‍රමාණයක් වන බැවින්, නිසි එන්නත්කරණ ක්‍රියාවලියට යොමු නොවීමෙන්, රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය මර්දනය අපහසු ක්‍රියාවලියක් බවට ඉදිරියේ දී පත්විය හැකි බවයි.

ඩෙල්ටා වෛරසය පැමිණි මොහොතේ දී ද විවිධ මතවාද සමාජය තුළ පැතිරුණු අතර, එහෙත් වෛරසයේ පවතින නව්‍යතාව සහ සමාජයට ඇති ආධුනිකත්වය නිසා ඔමික්‍රොන් ප්‍රභේදය ද එන්නත්කරණ සහ ඖෂධ තුළ ද නව වෛරස ප්‍රභේදයක් ලෙස මේ වනවිට සමාජය තුළට පැමිණ ඇති බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් එන්නත්කරණය තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රතිශක්තිකරණය පුද්ගල ශරීරය තුළ ඉහළ නැංවීම බවත්, රෝගීන් අඩු වූ පමණින් දැන් වෛරසය අඩු වී ඇති බවට ද ප්‍රකාශ කළ නොහැකි බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දෙන මධ්‍යස්ථානවල පුද්ගලයින් පැමිණීමේ අඩුවක් පවතින බවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට වෙනම දින වෙන් කර ඇති බවද අප වාර්තාකරුවන් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:05