April 26, 2024

අලි ෂබ්රි - ඥානසාර හිමි ගැටුම උග්‍ර අතට : ඇමතිකම ගැනත් ප්‍රකාශයක්

December 27, 2021

අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමි කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් තොරතුරක් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා හෙළි කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන ගනේෂන් මන්ත්‍රීවරයා එම කරුණ ඉදිරිපත් කරන්නේ වීරකේසරී දෙමළ පුවත් පතේ පළ වූ පුවතක් පදනම් කරගෙන.

සාධාරණය පිළිබඳ විග්‍රහය

අලි සබ්රි මහතා අධිකරණ ධූරයේ ඉන්න තාක් කල් සහරාන් කරපු අපරාධ වලට සාධාරණයක් බලාපොරොත්තු වීමට නොහැකි බවට ඥාණසාර හිමි මාධ්‍ය අමතා ප්‍රකාශ කළ බවයි එම පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීමේ කාර්ය සාධන බලකායේ සභාපති ධූරයට ඥානසාර හිමි පත් කිරීම ගැන අලි සබ්රි ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තුළ කනස්සල්ලක් තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඥානසාර හිමි එම මතය ප්‍රකාශ කළ බව එම පුවත් පත වාර්තා කර තිබෙන බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඥානසාර හිමිගේ මෙම ප්‍රකාශය ජනපතිවරයා විසින් පත් කළ ඇමතිවරයෙකුට ජනපතිවරයා විසින්ම පත් කළ නියෝජිතයකු කරන බලපෑමක් ලෙසයි ගනේෂන් මහතා මෙම සිදුවීම හඳුන්වා දී තිබෙන්නේ.

විවේචන මට ප්‍රශ්නයක් නෙමෙයි

තමන් වහන්සේව එම බළකායේ සභාපති කිරීම පිළිබඳව විවේචන රැසක් තිබෙන බවත් ඒ සියල්ල පුද්ගලික විවේචන බවද මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇති ඥානසාර හිමියන් තමන් ඒවා ගණන් ගන්නේ නැති බවද සඳහන් කර තිබෙනවා.

ඥානසාර හිමියන් එම තනතුරට පත් කිරීමට විරෝධය දැක්වීම වස් සිය ඇමති ධූරයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි 2 ක්ද අලි ෂබ්රි අමාත්‍යවරයා ජනපතිවරයා වෙත භාර දුන්නා.

එහෙත් ජනපතිවරයා එම ලිපි 2 කම ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:13

Related items