April 28, 2024

ආණ්ඩු බලය ගන්න ශ්‍රීලනිප - ජවිපෙ එකඟතාවක් ගැන දෙපැත්තම ඉඟි දෙයි!

December 23, 2021

ප්‍රබල ඉඟියක්

සිය පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පවසා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ යනු පිරිසිදු පක්ෂයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිරිසිදු පක්ෂයක් බැවින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පිරිසිදු පක්ෂයක් සමග එක්ව වැඩ කිරීමට ඉඩ කඩ පවතින බව ද ඔහු පවසනවා.

ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙරට වාමාංශික බලවේග සියල්ල එකතු විය යුතුය යන මතයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව යි.

තවත් ඉඟි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමක් සම්බන්ධයෙන් ඉඟි පළ කළා.

ඔහු සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට කරවීමෙහි දායක විය හැකි සෑම පාර්ශවයක්ම එක් විය යුතු බව යි.

පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව සම්බන්ධව ද වීරක්කොඩි මහතා අදහස් පළ කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ එය හොඳ ප්‍රවණතාවක් බව යි.

අනුරගේ ඉඟිය

පසුගිය දා පැවැති ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පළ කළ අදහස් සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ යම් කතාබහක් හටගෙන තිබෙනවා.

“බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” මැයෙන් නම් කොට තිබූ මෙම සමුළුව අමතමින් ඔහු කියා සිටියේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගට මේ රට වෙනස් කළ නොහැකි බව යි.

එය කළ හැක්කේ නිවැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාපනය කිරීමෙන් පමණක් බව යි ඔහු පෙන්වා දුන්නේ.

දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තනි තනිව විසඳුම් සෙවීම මගින් මෙම අර්බුධයෙන් ගොඩ ආ නොහැකි බව යි.

ඒ සඳහා සාමූහිකව අරගලයක නිරත විය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

රට භාර ගැනීමට තම බලවේගය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

“තනි තනිව මොන තරම් පිළිතුරු සෙවුවත් මේ අර්බුධයෙන් රටට ගොඩ එන්න බෑ. තනි තනියෙන් පොරබැදීමෙන් පළක් නෑ. වැද්දගේ වීසි දැළට අහුවුණු වටු රැලේ තනි තනි වටුවා ඉගිලෙන්න මොන තරම් උත්සහ කරත් එම දැළෙන් ගැලවී යාමට ඔවුන්ට හැකියාව ලැබුණේ නෑ. හැබැයි අවසානයේ එතන හිටපු බෝධි සත්ත්ව වටුවාණන් කියනවා අපි මේ දඩයක්කාරයාගේ දැළෙන් නිදහස් වෙන්න ඕනෙ නම් අපි සාමූහිකව පොරබදන්න ඕනේ කියලා. 

එහෙම තමයි අද අපිට තියෙන්නේ. තනි තනිව නෙවෙයි අපි සාමූහික ප්‍රයත්නයක යෙදෙමු. අපේ රටත් අපේ රටේ ජනතාවත් මීට වඩා සංවර්ධනයක් වුණු රටක අපේක්ෂාවන් පිරුණු රටක සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන ව්‍යාපාරයක් ගොඩ නගමු”

සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණ සමග නිල නොවන වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන කරළිය තුළ රහසක් නොවෙයි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවල දී ඉස්මතු වූ කරුණු හෝ ගත් තීරණ පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

සන්ධානය

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් බුලත් කොලය යළි පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර පැවසුවා.

එම සන්ධානය යටතට මෙරට දේශපාලන බලවේග රැසක් එක්රැස් කරන බව යි නිදහස් පක්ෂය සඳහන් කළේ.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙරට තීරණාත්මක සුළු පක්ෂවන මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ආදී දේශපාලන බලවේග මේවන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් වීම යි.

වෙනත් අයුරකින් පැවසුවහොත් එම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ගොස් නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න!

මෙවන් තත්ත්වයක් මත වර්තමාන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවට පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ සාමාජිකයින් ද පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස බලපෑම් සිදු කරමින් පවතින බව වාර්තා වෙනවා.

තමන් තව දුරටත් ආණ්ඩුවට සහය දිය යුතුය යන මතයෙහි සිටින්නේ මේවන විට අමාත්‍ය ධූරයක් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙකු පමණක් බව යි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පක්ෂයේ පහළ මට්ටමෙන් පවා මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම නිදහස් පක්ෂයේ අනාගතයට සුදුසුවන බවට යි.

විශේෂයෙන් මේවන විට රටට බලපා ඇති අර්බුධ හමුවේ තවදුරටත් ආණ්ඩුවට සහය දෙමින් සිටියහොත්, ආණ්ඩුව සිදුකරන සියළු වැරදිවලට සිය පක්ෂයටත් වග කියන්නට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම සාමාජිකයන් ද පක්ෂ නායකත්වයට පෙන්වා දී තිබෙනවා.

එවැනි අවස්ථාවක යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන ගමනක් පිළිබඳව ඉඟි සපයන්නේ.

“ජවිපෙ නැට්ට වෙන්නෙ නෑ”

කෙසේ වෙතත් පසුගිය දා විකාශය වූ සජීවී රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණෙහි මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ කිසිදු පක්ෂයක “නැට්ට” වීමට ජනතා විමුක්ති පෙරමුණෙහි කිසිදු සූදානමක් නොමැති බව යි.

එහෙත් මෙරටට බලපා ඇති සමාජ, ආර්ථික, දේශපාලන ගැටළුව විසඳා ගැනීමට සැබෑ උවමනාවක් ඇති කුමන පාර්ශවය සමග හෝ සිය පක්ෂය සාකච්ඡා කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියා.

දේශපාලන බලය අත්පත් කරගැනීම කිසිසේත් සරළ පහසු නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 09:52

Related items