May 13, 2024

කාබනික වගාවට උපදෙස් දුන්න අය හොයන්නත් නැහැ - කෘෂි අමාත්‍යංශයේ ලේකම්ගෙන් හෙළිදරව්වක්

December 22, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ක්‍රියා කළා.

ඒ අනුව රසායනික පොහොර තහනම් කිරීම සහ කාබනික පොහොර ප්‍රචලිත කිරීම කඩිනම් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ගොවි ජනතාව පොහොර ගැටලුව නිසා දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. 

සමාජයේ මෙන්ම දේශපාලන වශයෙන් දැඩි කතාබහක් ඇති වුයේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි.

කාබනික පොහොර වෙත යොමුවීම ප්‍රතිපත්තියක් ලෙස ඉතා හොඳ වුවත්, ගැටලුවක් ඇති වූයේ එහි සැලැස්ම වරද්දා ගත් නිසා යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

උපදේශකයන් සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයා ගත් තීන්දු සම්බන්ධයෙන් කාබනික පොහොර ගැටලුව දැඩි අර්බුධයකට ලක් වුණා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ද වෙනස්කම් රැසක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කර තිබු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදේශන සේවා ලබා දුන් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ද සේවයෙන් ඉවත් කරනු ලැබුවා. 

උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස්ගේ ඉක්මන් තීරණ හමුවේ කාබනික වැඩපිළිවෙල යම් අර්බුධකාරී තත්වයකට පත් වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උජිත් කේ. ජයසිංහ මහතා සඳහන් කලේ.

සෞභාග්‍යයේ දැක්මට අනුව මෙරට කෘෂිකර්මය කාබනික කිරීම සඳහා වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබුණත් මෙම වැඩපිළිවෙල නිසා අර්බුධ මතු වූ බවයි ලේකම්වරයා සඳහන් කලේ.

නිසි ක්‍රමවේදයට අනුව නියමිත කාල සීමාවකින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම වැඩසටහනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත්ව කටයුතු කළ උපදේශකයන් කිසිවෙකු හෝ මේ වන විට සොයා ගැනීමට පවා නොහැකි බව ද ඒ මහතා සඳහන් කළා.                               

මෙහිදී තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ලේකම්වරයා මෙසේද සඳහන් කළා.

"මේ වන විට ප්‍රචාරයක් යනවා රසායනික පොහොර ගෙන ඒම සඳහා අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ නෑ කියලා. මේක අමූලික බොරුවක්. මේ රටේ රසායනික පොහොර ගෙන්වන ආයතන 120ක් පමණ දැනුවත් කරලා අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිසි ක්‍රියා මාර්ග වලට අනුව කටයුතු කරලා ඉල්ලුම් කරන අයට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ගෙන ඒම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබෙනවා. කිසිවෙක් හෝ ඒ සඳහා අවසර නොලද බවට ප්‍රකාශ කරනවා නම් අපි අභියෝග කරනවා ඒ අයට අප හමුවට ඇවිල්ලා ගැටලුව ඉදිරිපත් කරන ලෙසට. වරදක් වෙලා තියෙනවා නං අපි ඒක නිවැරදි කරනවා. මේ ලියාපදිංචි වූ අයත් පොහොර ගෙනෙන කොට කොහොමත් මාස දෙකක්, දෙකහමාරක් කාලය යනවා. ඒ ඇරෙන්න අපේ පැත්තෙන් කිසිම පරක්කුවක් කරලා නෑ. අනෙක් අය එක්ක තරඟ කරලා මේවා කරන්න බැරි අය මොනවා හරි කියවනවා ඇති."                                                         

                                                                                                                  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 11:49