May 03, 2024

රජයේ කාබනික වගාවේ ප්‍රගතිය එයි - ගොවින් ගොවිකම අතහරී

December 22, 2021

ගොවින් මේ වන විට දැඩි දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා. කාබනික පොහොර ගොවි ජනතාව වෙත ලබා දුන්නද එම පොහොර ප්‍රමිතයෙන් තොර බවට ගොවින් චෝදනා කරනවා. ප්‍රමාණවත් ලෙස පොහොර නොමැතිව බොහෝ ප්‍රදේශවල ගොවින් පිඩාවට පත්ව ඇති පසුබිමක ලැබුණු පොහොරවල පවා කිරිමැටි, ලී කැබලි ආදී දේ අන්තර්ගතව තිබීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති ආකාරය මේ දින වල වැඩි වශයෙන් වාර්තා වෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේ එලෙස බෙදා දුන් පොහොර තොගයක තිබී ටයර් කැබලිද හමු වී තිබෙනවා. මෙවර මහ කන්නය සඳහා මිහින්තලේ ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී තිබු පොහොර තොගයක් පරික්ෂා කිරීමේදී එහි තිබී ටයර් කැබලි හමු වී තිබුණා.

රසායනික පොහොර තහනමෙන් පසු රජයෙන් ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන හරහා ගොවීන්ට ලබා දුන් කාබනික දියර පොහොර සහ පොහොර හරහා වගා කළ ගොවීන් සිය දුක්ගැනවිල්ල රටට ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ අනුව කාබනික පොහොර යොදා ගනිමින් වගා කල ගොවි බිම් වල අස්වැන්න සම්පුර්ණයෙන්ම අඩු වී ඇති බවට ගොවින් චෝදනා කරනවා. 

ඒ අනුව කාබනික වගා ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවයි ගොවින් පෙන්වා දෙන්නේ. ඔවුන් පවසන්නේ රසායනික පොහොර නොමැතිව එක විටම කාබනික වගාවට යාම අසාර්ථක ක්‍රියාවක් බැවින් තමන් වගාකිරීම අතර මැද නතර කර දමන බවයි.

ගොවින් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"චීනයෙන් පොහොර නැවක් එනවා. ඒකට මිලියන ගානක් ගෙවනවා. ඒවායෙන් සල්ලි අරගෙන අපිට පොහොර මිටිය මිටිය දෙන්න පුළුවන්."

"කෘෂිකර්ම ඇමැති කියන එකාට වැඩිය අපි දන්නවා. මම 1956 ඉඳලා දන්න  මිනිහෙක්. මේ තරම් විනාශ කරපු රජයක් අපි දැකලා නැහැ. මොනවාදෝ රෙද්දක් ගෙනල්ලා අපි නම් කියන්න දන්නෙත් නැහැ. ගහන්නත් බැහැ."

එමෙන්ම පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවින් සිය වගාවන් සඳහා රසායනික පොහොර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් කාබනික පොහොර වෙළඳපොලෙන් මිලදී ගෙන තිබෙනවා. එලෙස මිලදී ගත් පොහොර ප්‍රමිතියෙන් තොර බවයි ගොවින් චෝදනා කරන්නේ.

ලබන කන්නය සඳහා හෝ රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ (21) ගොවි විරෝධතා පැවැත්වුණා.

ඔවුන් චෝදනා කරන්නේ, පොරොන්දු වූ වගා හානි වන්දි කඩිනමින් රජය විසින් ලබාදිය යුතු බවයි.

එමෙන්ම වී ගොවීන් බොහෝ පිරිසක් මෙවර කන්නයේ වගා කටයුතු ආරම්භ කළේ ද මාසයක පමණ කාලයක් පමාවීමෙන් අනතුරුවයි.

ඒ අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදෙන බවට රජය දුන් පොරොන්දුව මතයි.

කෙසේවෙතත් වගාව ආරම්භ කර සති කිහිපයක් ගතව ඇතත් තමන්ට කිසිඳු පොහොරක් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් ඇතැම් ගොවීන් සිය වගාවන් අත්හැර දැමීමට ද පෙළඹි තිබෙනවා.

මේ අතර අම්බලන්තොට රිදියගම ව්‍යාපාරයේ මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු වලට බන්ඩි පොහොර නොමැතිව වගා බිම් පාළුවෙමින් පවතින බව එම ව්‍යාපාරයේ ගොවින් පෙන්වා දී ඇති බව සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසුවා.

අම්බලන්තොට රිදියගම ව්‍යාපාරයේ මහ ඇළ කණ්ඩිය ප්‍රදේශයේ වගා කර ඇති කුඹුරු කිහිපයක් ගොවීන් සමඟ නිරික්ෂනයට ලක් කිරීමෙන් පසුව නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළා.

ගොයමට ගහන්න දීපු කාබනික පොහොර වල් ගල් කැට ටයර් කෑලි තියෙන්නේ මේවා කුඹුරට දැම්මොත් ගොයම් ගස් නොව වල් පැල හට ගැනීම සිදුවන බවද සාක්ෂි ඇතිව මෙහිදී ගොවීහු පෙන්වා දුන් බවද කරුණාරත්න මහතා පැවසුවා.

''වල් මර්ධනය, කෘමි මර්ධනය කරගන්න අවශ්‍ය බෙහෙත් ටික ගොවියාට ලැබෙන්නේ නැහැ. අපි රජයට කියන්නේ වහාම මේ ගොවීන්ට වන්දි ගෙවීම ආරම්භ කරන්න මේ වන්දි මුදල් ගෙවීම රටේ මහජනතාවගේ මුදල් වලින් ගෙවන්න ලෑස්ති වෙන්න එපා. මේ තකතිරු තිරණ ගත්ත මේ රට පාලනය කරන පාලකයින්ගේ පෞද්ගලික බූදලයෙන් ගෙවීමට කටයුතු කරන්න. එසේ නොකලහොත් ගොවි ජනතාව මහ පාරට බස්සවා මහා අරගලයක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙනවා." 

පොහොර අර්බුධයත් සමඟ නිසි පළදාවක් ලබා ගැනීමට නොහැකි බව වූ පවසමින් ගොවින් තම වගාවන් විනාශ කර දැමීමට කටයුතු කළා.

රට තුළ පවතින ආර්ථික , සමාජීය අර්බුද හමුවේ කිසියම් ආකාරයකට ආහාරවල හිඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසනවා.

ඊයේ (21) පෙරවරුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම්වරයා සඳහන් කළේ, පුද්ගලයින්ට පරිභෝජනය සඳහා රට තුළ ආහාර තිබීම අනිවාර්යය වන අතර, කිසියම් අයුරකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත්, ආහාර හුවමාරු ක්‍රමවේදයකට අප යා යුතු බවයි.

තමන් පවසන ආහාර හුවමාරු ක්‍රමවේදය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටින්නේ, ආහාර හුවමාරුවක් යනු බඩඉරිඟු භෝගයේ රික්තකයක් පවතින්නේ නම්, මිත්‍ර රටකින් අප රටට අදාළ භෝගයට සරිලන පරිදි අවශ්‍ය ටොන් ප්‍රමාණය ලබාදෙන ලෙස ඉල්ලා, ඒ වෙනුවෙන් මෙරටින් කිසියම් දෙයක් ඒ සඳහා ප්‍රදානය කළ යුතු බවයි.

උදාහරණයක් ලෙස එය හරියට ණය ලබාදෙන විට දී සල්ලි දෙන ආකාරයේ ක්‍රියාවක් බවත්, ඇතැම් අවස්ථාවල දී එවන් තීරණයකට එළැඹුණේ ඇයි දැයි යන ගැටලුව අපට මතුවීමට වුව ද ඉඩකඩ ඇති බවත්, එහෙත් පළමුවෙන්ම කළ යුත්තේ, ප්‍රධාන අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම බවත් මහාචාර්යවරයා පවසනවා.

මෙහිදී මහාචාර්ය උදිත් ජයසිංහ අවධාරණය කරන්නේ, කිසියම් අයුරකින් ආහාර අර්බුදයකට ලක්වීමට අපට සිදු වුවහොත්, රට තුළ ජීවත් වන ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩය වන ගැබිනි මව්වරුන්, දරුවන්, රෝගීන්ට ප්‍රමුඛතාව ලබා දී, තරුණයින් වැනි කොට්ඨාසය විසින් කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආහාර අවම ලෙස පරිභෝජනයට යොමු වෙමින් , සුළු හෝ කැප කිරීමක් රට වෙනුවෙන් කිරීම සුදුසු බවයි.

මෙම ක්‍රියාවලිය සඳහා පූර්ව සූදානම වන්නේ, පිටරටින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන ආහාරපාන සීමා කර, අත්‍යවශ්‍ය වන කිරිපිටි ආදී ද්‍රව්‍යවලට පමණක් ඉදිරියේ දී ආනයනයට අවස්ථාව සඳහා අවධානය යොමු කිරීමට මෙරට ආර්ථිකයට හැකියාවක් පවතින්නේ නම්, එය ඉදිරියේ ඇති සංවර්ධනයට අතිශය රුකුලක් වන බව ද හෙතෙම පෙන්වා දෙනවා.

බලධාරීන්ට හෝ නිලධාරින්ට කිසිම අයුරකින් රටේ ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතකින් හෝ අවශ්‍යතාවක් නොමැති බව ද, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 16:51