May 13, 2024

ගෑස් මගඩිය : ගෑස් සංයුතිය වෙනස් කළේ අත්භූත බලවේගයක්ද?

December 23, 2021

පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදුන් නිර්දේශයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා මේ බව සඳහන් කළා.

ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඒ සඳහා තාක්ෂණ අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරය අපේක්ෂාවෙන් සිටින බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම තවමත් දිවයිනේ විවිධ ස්ථානවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වනවා.

බණ්ඩාරවෙල, හැටන්, මාතලේ, කන්දකැටිය, වාද්දුව ආදී ප්‍රදේශ කිහිපයකින් ඊයේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා.

මේ අතර, ගෑස් වල අඩංගු ප්‍රොපේන් සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර් මේ වනවිට සීමිත වශයෙන් වෙළඳපොල තුල දක්නට ලැබෙනවා.

මේ අතර ගෑස් නෞකා දෙකක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය හිමි වී මේ වනවිට සැලකිය යුතු කාලයක් ගතව ඇතත්, මෙරට ගෑස් ඉල්ලුම සපුරාලීමට ගෑස් සමාගම් තවමත් සමත් වී නැහැ.

කණගාටුදායක කරුණ වන්නේ ජනතාව දැඩි පීඩාවට පත් කළ මෙම ගෑස් අර්බුදයේ වගකීම කිසිවෙකු භාර ගැනීමට මෙතෙක් සූදානම් නොවීමයි.

තමන් ගෑස් සංයුතියේ වෙනසක් සිදු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමද පසුව පිලිගත්තත්, ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව එම සංයුතිය වෙනස් කිරිම බව ඔවුන් පිළිගත්තේ නැහැ.

ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන්වල බට සහ රෙගියුලේටර් හේතුවෙන් අදාල පිපිරීම් සිදුවන්නට ඇති බවයි.

කෙසේවෙතත්, ඒ වන විටත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබූ අතර කාන්තාවක් මරණයටද පත්ව තිබුණා.

මේ අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට සැබෑ හේතුව කුමක්ද යන්න හෙළි කළා.

නමුත් හාස්‍යජනක කරුණ වන්නේ මෙම සංයුතිය වෙනස් කිරිම කිසිවෙකු විසින් සිතාමතා කළ දෙයක් නොවන බව පොලිසිය ප්‍රකාශ කිරීමයි.

එසේ නම් ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කර ඇත්තේ කිසියම් අද්භූත බලවේගයක් විසින්ද?

ගෑස් සමාගම් මේ සම්බන්ධ වගකීම භාර නොගත් නමුත් අවම වශයෙන් මේ වනවිට මෙරට ගෑස් සැපයුම යථාවත් කිරීමටවත් එම සමාගම්වලට හැකි වී නැහැ.

රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ  බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවා.

රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල ගෑස් හිඟය නිසා වැසි ගොස් ඇති ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවද හෙතෙම සඳහන් කළා.

මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ, කඩල සහ සමෝසා වෙළෙඳසල් 5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද ගෑස් හිඟය සහ  අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා  වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා ගෑස් හිඟයට අමතරව පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම නිසාද බොහෝ හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්  උදාවී ඇතැයි පැවසුවා.

රටපුරා බේකරි  7000ක් පමණ පවතින අතර ඉන් තුන්දහස් පන්සියයක් පමණ ගෑස් සහ අමුද්‍රව්‍ය හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව වැසි ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ගෑස් පිපිරීම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට - Divaina

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 December 2021 08:32